හම්බන්තොට ගැටුමකින් පිරිසකට තුවාල
චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබා දීමට රජය කටයුතුකරන්නේ යැයි චෝදනා කරමින් හම්බන්තොටදී පැවැති විරෝධතාවකදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් පිරිසකට තුවාල සිදුවිය.
අදාළ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයක් අද (07) සෙනසුරාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්වුණු අතර එයට විරෝධය පෑම සඳහා භික්ෂූන් වහන්සේලා ඇතුළු සියගණනක් පිරිස් උද්ඝෝෂණයක නිරතවුහ.

හම්බන්තොට ප්‍රදේශය චීන කොලනියක් බවට පත්කිරීමට රජය සැරසෙන්නේ යැයි චෝදනා කළ විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාර වැදීමෙන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
විරෝධතාකරුවන් පළවාහැරීම සඳහා කඳුළු වායුව සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදුවිය.

කෙසේවුවද ඊයේ මහනුවර පැවති උත්සවයකදී මෙම ආයෝජන කලාපය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය නමුත් ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බවය.

චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබාදෙන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු දිගින් දිගටම කරන ප්‍රකාශ වැරදි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙතෙක් එවැනි කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සඳහන් කළේය.









