හම්බන්තොට වරාය විරෝධය නැව් කොල්ලයක් - නාවික හමුදාව
හම්බන්තොට වාරයේ විරෝධතාවක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණි.
තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවේ නියැලෙමින් සිටි සේවකයන් විසින් නෞකා දෙකක් අල්ලා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියට අනුව ''නෞකා මංකොල්ල කෑමක්'' ලෙස සැලකිය හැකි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඒ අනුව අන්තර්ජාතික නෞකා ගමනාගමන සහ වරාය ආරක්ෂණ නීතිය සුරැකීමට බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව විරෝධතාකරුවන් විසින් අවහිර කරමින් තිබුණ නෞකා දෙක ඉන් පිටත් කර හැරීමට පමණක් මැදිහත් වූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීන සමාගමක් හා එක්ව සිදු කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ද උද්ඝෝෂණයේ නිරත සේවකයෝ විරෝධය පළ කරති.

එම සේවකයන් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි නමුත් කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට අදාළ චීන සමාගම එකඟ වූ බව වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.






