හම්බන්තොට: 'නැව් දෙකක් විරෝධතාකරුවන් යටතේ'

හම්බන්තොට වරායේ සේවකයෝ

හම්බන්තොට වරායේ සේවකයින් සියලු දෙනා වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් තෙවැනි දිනයේත් විරෝධතාවයක යෙදී සිටින සේවකයෝ, මේ වනවිට නැව් දෙකක් ද අල්ලාගෙන සිටිති.

සේවකයන්ගේ අඛණ්ඩ විරෝධතාවය හේතුවෙන් මාගම්පුර වරායේ දෛනික කටයුතු සියල්ල ඇණ හිට ඇති බව වාර්තාකරුවෝ පවසති.

චීනයේ සහ සිංගප්පූරුවේ සිට වාහන රැගෙන පැමිණි එම නැව් දෙක බලහත්කාරයෙන් ගෙනයාම සඳහා නාවික හමුදාව යෙදවීමේ උත්සාහයක් පවතින බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

"එහෙම කළොත් අපේ සේවක පිරිස් මුහුදේ පාරු යොදා එය වලක්වාලිමට පියවර ගන්නවා," මාගම්පුර වරාය සේවක කමිටුවේ ප්‍රචාරක ලේකම් අයි කේ ඔමේෂ් පැවසීය.

මාගම්පුර වරායේ උද්ඝෝෂණය

පරිපාලන ගොඩනැගිල්ලේ 14 වන මහලේ සේවකයින් රැසක් උපවාසයක් ද ආරම්භ කර ඇති බව පවසන ප්‍රචාරක ලේකම්වරයා, අනෙක් සෑම වරායකම සේවකයන් වරාය අධිකාරියේ සේවයට බඳවාගෙන තිබෙන්නේ නම් මාගම්පුර වරායේ සේවකයන්ට පමණක් මෙවැනි අසාධාරණයක් මන්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

සේවක විරෝධතාවය පිළිබඳව විමසා බැලීම පිණිස බ්‍රහස්පතින්දා වරායට පැමිණි වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, මාගම්පුර වරායේ සේවකයින් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි නමුත් කිසිම සේවකයෙකු ඉවත් නොකිරීමට අදාළ චීන සමාගම සමග කළ සාකච්ඡාවන්හිදී එකඟ වූ බව සේවකයන්ට දැනුම් දුන්නේය.

එබැවින් ඔවුන්ට පෙර පරිදිම වරායේ රැකියා කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන බවට ප්‍රතිඥා දුන් අමාත්‍යවරයා, එසේ නොහැකි වුවහොත් තමන් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවත් පැවසීය.

මාගම්පුර වරායේ උද්ඝෝෂණය

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව සේවකයන්ගෙන් ප්‍රසාදයක් පළ නොවීය.

මාගම්පුර වරායේ සේවකයින් 483 කගේ රැකියා සුරක්ෂිත කෙරෙන තුරු දිගටම විරෝධතාවයේ නියැලෙන බව උද්ඝෝෂකයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.