ඉන්ටර්පෝල් වරෙන්තුව නීති විරෝධීයි - සඳරුවන් සේනාධීර

ඡායාරූප මූලාශ්‍රය, Lankaenews
ජාත්‍යන්තර පොලිසිය හරහා තමන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට දී ඇති අධිකරණ නියෝගය නීති විරෝධී බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර පවසයි.
විශේෂයෙන්ම නියෝගය නිකුත් කරන ලද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාරට එරෙහිව සිය වෙබ් අඩවිය චෝදනා එල්ල කර තිබෙන අවස්ථාවක ඇය එවැනි තීන්දුවක් දීම නීතියට මෙන්ම සදාචාරයටද එරෙහි බව කතුවරයා බීබීසී සංදේශයට පැවසීය.
"ඊළඟ ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලන්න නෛතික අයිතිය තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැතුව මේ නඩුවට අද ඉදිරිපත් වෙච්ච හේමන්ත වර්ණකුලසූරියගේ ඉල්ලීම තමයි මේ විනිසුරුවරිය ඉෂ්ඨ කරන්නේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Lankaenews
තමා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කර සතියක් ඉක්ම යද්දී දෙන ලද මේ තීන්දුව මගින් අධිකරණයට එල්ල වෙමින් තිබෙන බලපෑම ඕනෑම අයකුට වැටහෙන බව ඔහු කියා සිටියේය.
කෙසේ වුවද අදාළ තීන්දුව සිය වෙබ් අඩවියට හෝ තමන්ට පෞද්ගලිකව එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවලට තර්ජනයක් එල්ල කිරීමද එය පසුබිමෙහි සිටින පුද්ගලයන්ගේ අපේක්ෂාව බව සඳරුවන් සේනාධීර පවසයි.
වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ අධිකරණයට අපහාස කළ බවට එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය.






