ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රතිජීවක ප්‍රතිරෝධය ‘බරපතල ගැටලුවක්’
ලොව පුරා ජනතාව ප්‍රමිතියකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීම හේතුවෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධය බරපතල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව පවසන වෛද්‍යවරියක, ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කළ යුතු බව අවධාරණය කරයි.
එය කෙතරම් උග්‍ර ගැටලුවක් බවට පත් වී තිබෙන්නේද යත් පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පවා ඒ පිළිබඳව විශේෂ රැස්වීමක් කැඳවා තිබුණු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී වෛද්‍ය වේරංජා ලියනපතිරණ පවසන්නීය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක භාවිතය පිළිබඳව විද්‍යානුකූල සමීක්ෂණයක් සිදු කර නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ද ප්‍රතිජීවක ප්‍රතිරෝධය උත්සන්න වෙමින් පවතින බව පැහැදිලිවම දක්නට ලැබෙන බව වෛද්‍ය ලියනපතිරණ සඳහන් කළාය.
"ඉස්පිරිතාලවලින් අපට ලැබෙන බැක්ටීරියා වර්ග දිහා බලන කොට අපි නිතරම පාවිච්චි කරන ප්‍රතිජීවකවලට ඒවා දැන් ප්‍රතිරෝධයක් ඇතිවේගෙන එනවා." යැයි පවසන ඇය, එම ප්‍රතිරෝධය වලක්වා ගැනීම පිණිස වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් සඳහන් කරන්නේ, වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම රෝගීන්ද දැනට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.
විශේෂයෙන්ම බටහිර රටවලදී මෙන් නොව ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳසල්වලදී ප්‍රතිජීවක පහසුවෙන් ලබාගත හැකි වීම ගැටලුවක් බව පිළිගන්නා පවසන වෛද්‍ය රුවන්පතිරණ, බොහෝ අවස්ථාවල රෝගීන් සෑම රෝගයකටම ප්‍රතිජීවක බලාපොරොත්තු වීම එයට ප්‍රධාන හේතුවක් බවත් පෙන්වා දුන්නාය.
"දෙපැත්තෙන්ම ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ කියන එක තමයි විශේෂඥයන්ගේ අදහස වෙලා තියෙන්නේ," යැයි පවසන ඇය, ප්‍රතිජීවක භාවිතය සීමා කිරීම පිණිස නීතිමය විධිවිධාන පැනවීමට සිදු විය හැකි අතරම, ප්‍රතිජීවක අවශ්‍ය වන්නේ කවර අවස්ථාවකද යන්න පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන්නීය.
"එතකොට රෝගීන්ට වුනත් පුළුවන් ඇත්තෙන්ම ප්‍රතිජීවක අවශ්‍යද කියල ප්‍රශ්න කරලා තහවුරු කරගන්න," යනුවෙන් වෛද්‍ය ලියනපතිරණ පෙන්වා දුණි.