ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පොලිසිය සිදු කරන මානව හිමිකම් උල්ලංඝන ගැන පියවර ගන්න'
ශ්‍රී ලංකාවේ පොලිසිය අතින් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ ඇති වැදගත්කම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක්වන හියුමන් රයිට්ස් වොච් ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දෙයි.
සුන්දිරාජා සුලක්ෂන් සහ නඩරාසා ගජන් යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනා පසුගියදා යාපනයේදී වෙඩි ප්‍රහාරයකින් මියයාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ එම සංවිධානය, මහජන කෝපය මතු නොවූයේ නම් සත්‍යය වසන් කිරීමට බලධාරීන් උත්සුක වනු ඇති බවට සැකයක් නැතැයි පෙන්වා දුණි.
එම ශිෂ්‍යයන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ලබන 15 වෙනිදා වද හිංසාවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිත ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ පෙන්වාදීමට නියමිත වුවද, විශේෂයෙන් ම පොලිසියේ මානව හිමිකම් උල්ලංඝන හමුවේ එය දුෂ්කරවනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
2014 ජුනි මාසයේ කොළඹ-නුවර මාර්ගයේදී ඉන්දික ජයසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ වරද පිළිගත් පොලිස් නිලධාරීන් තවමත් සේවයේ යෙදී සිටින බව පවසන එම සංවිධානය, 2014 මැයි මාසයේදී 16 හැවිරිදි සඳුන් මාලිංගට වද දී මරා දැමූ බවට පොලිසියට චෝදනා එල්ල වී තිබෙන බව ද පෙන්වා දෙයි.
පොලිසිය නිල නොවන වද කඳවුරු පවත්වාගෙන යන බව ශ්‍රී ලංකාවේ ජාතික මානව හිමිකම් කොමිසම විසින් ද මෑතදී තහවුරු කරන ලද බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පවසයි.