ණය වෙනුවෙන් ජීවිත වන්දියක්

ණය වාරික ගෙවාගැනීමට නොහැකිව
ඡායාරූප ශීර්ෂ වැකිය, ණය වාරික ගෙවාගැනීමට නොහැකිව

යුද්ධයෙන් පසුව මූල්‍ය සමාගම් විසින් උතුරේ වැසියන්ට අධික පොලියට සුළු පරිමාණ ණය ලබා දෙනු ලැබීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බව උතුරු පළාතේ දේශපාලන නායකයෝ පවසති.

ණය වාරික ගෙවාගැනීමට නොහැකිව මිනිසුන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයකට පත්ව සිටීම ඉතා කණගාටුදායක බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් සංදේශයට කියා සිටියේය.

නිවසටම පැමිණ රුපියල් 25000ක ණය මුදලක්
ඡායාරූප ශීර්ෂ වැකිය, නිවසටම පැමිණ රුපියල් 25000ක ණය මුදලක්

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ විසිහය හැවිරිදි කාන්තාවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව වයස අවුරුදු දෙකහමාරක සිය දරුවා සමග ළිඳකට පැන දිවි හානි කරගැනීමේ සිද්ධියක් පිළිබඳව අදහස් දක්වමිනි.

දිවි හානි කරගත් නාගනාදන් සුගන්දිනී නැමති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලිසියට පවසා තිබුණේ එක්තරා මූල්‍ය සමාගමක් තම නිවසටම පැමිණ රුපියල් 25000ක ණය මුදලක් බිරිඳට ලබාදුන් බවයි.

ණය වෙනුවෙන් ජීවිත වන්දියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ණය වෙනුවෙන් ජීවිත වන්දියක්

එහි ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල් ගෙවූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

උතුරු පළාත් සෞඛ්‍යය ඇමතිවරයා පසුගිය සතියේදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ සාමය එළඹීමත් සමගම උතුරු හා නැගෙනහිර පළාත්වලට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන රාශියක් පැමිණ ඇති බවකි.