ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අද වව්නියා පෙළපාලියේ ඊළඟ බස් එකේ කොළඹ'
දකුණේ ඇතැම් බලවේග උතුරට පැමිණ උද්ඝෝෂණ දියත් කරන්නේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් බව උතුරු පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් පවසයි.
දකුණේ අන්තවාදී සහ ජාතිවාදී සංවිධාන උතුරු පළාතට පැමිණ උද්ඝෝෂණ පවත්වා එහි වෙසෙන දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පවතින සහෝදරත්වය සහ සංහිඳියාව විනාශ කිරීමේ උත්සාහයක නිරත වන බවයි උතුරු පළාත් සෞඛ්‍යය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඔහු ඒ බව කියා සිටියේ බොදු බල සේනා, රාවණා බලය සහ සිහල රාවය ඇතුළු සංවිධාන විසින් උතුරු පළාත් මහඇමති සී.වී විග්නේශ්වරන්ට එරෙහිව සිකුරාදා වවුනියාවේ දියත් කළ විරෝධතාව පිළිබඳ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අන්තවාදී සංවිධාන විසින් සංහිඳියාව බිඳ දැමීමට ගනු ලබන උත්සාහයට හසු නොවන ලෙස පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
''වව්නියාවේ ඉන්න දෙමළ, සිංහල, මුස්ලිම් අපි සියලු දෙනා මෙච්චර කල් ප්‍රශ්න නැතිව සහෝදරත්වයෙන් ජීවත් වුනා. අපි තාමත් සහෝදරත්වයෙන් ඉන්නේ,''
''ඉහත කී ආකාරයේ කණ්ඩායම්වල අවශ්‍යතාවට හසු නොවී අපි මෙච්චර කල් ජීවත් වුන විදිහටම තවදුරටත් ජීවත් වෙමු කියලා මම ඉල්ලා සිටිනවා,''
''මේ පිරිස් වව්නියාවේ ජීවත් වෙන්නේ නැහැ. අද ඇවිල්ලා පෙළපාලි ගිහින් ඊළඟ බස් එකේ නැගලා කොළඹ යනවා. මේ අය ප්‍රශ්න ඇති කිරීමට වව්නියාවට ආවා කියලයි මම හිතන්නේ,''
උතුරේ ජීවත් වන සිංහල ජනයා තමන්ට අසාධාරණයක් සිදු වන බව පවසා උද්ඝෝෂණයේ යෙදෙන්නේ නම් ඊට තමාගේ කිසිඳු විරෝධයක් නොමැති බව කියා සිටි පළාත් සෞඛ්‍යය ඇමතිවරයා වෙනත් පළාත්වලින් උතුරට පැමිණ උද්ඝෝෂණ දියත් කිරීම අනුමත කළ නොහැකි බවයි පෙන්වා දෙන්නේ.
සිංහල බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශ තුළ බුදු පිළිම ස්ථාපිත කිරීම තුළින් ඊට අගෞරවයක් සිදු වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇති බවත් ප්‍රශ්න ඇති කිරීමේ අරමුණින් එවැනි ප්‍රදේශ තුළ බුදු පිළිම ස්ථාපිත කිරීම අනුමත කළ නොහැකි බවත් උතුරු පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් සඳහන් කළේය.
සිංහල ජනතාවට උතුරු පළාතේ ජීවත් වීම කිසිවකුටත් තහනම් කළ නොහැකි බවත් රජයේ අනුග්‍රහය ඇතිව සැලසුමකට අනුව දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ තුළ සිංහල ජනපද ඇති කිරීම නිවැරදි නොවන බවත් උතුරු පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් වැඩිදුරටත් කියා සිටියේය.