උතුරු පළාත් සභාව 'ආණ්ඩුවට පවරා ගන්න'

උතුරු පළාත් සභාව විසුරුවා හැර එහි බලය ආණ්ඩුකාරවරයා වෙත පවරා දෙන ලෙස බොදු බල සේනා සංවිධානය ප්‍රමුඛ සිංහල ජාතිකවාදී සංවිධාන කිහිපයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන්ගේ 'ජාතිවාදී ප්‍රකාශයන්ට' එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
බොදු බල සේනා, රාවණා බලය සහ සිහල රාවය ඇතුළු සංවිධාන එම ඉල්ලීම කළේ උතුරේ ක්‍රියාත්මක 'උතුර රකින රට සුරකින ව්‍යාපාරය' වවුනියාවේ දියත් කළ විරෝධතා පාගමනකට එක්වෙමින්.
සිංහල පරිසරයක හැදුණු වැඩුණු, සිංහල පළාත්වල සේවය කළ සීවී විග්නේශ්වරන් උතුරේ ප්‍රධාන අමාත්‍ය පදවියට පත්වීමත් සමඟ ඔහු මනා සංහිඳියාවකින් යුතුව ක්‍රියාකරනු ඇතැයි දකුණේ ජනතාව අපේක්ෂා කළත්, වර්තමානයේ ඔහු 'ජාතිවාදයේ විෂ වපුරුවමින් සිටින' බවට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ චෝදනා කළහ.
එහෙත් ජාතිවාදී ප්‍රකාශ කළ බවට එල්ල වන චෝදනා මහ ඇමති සීවී විග්නේශ්වරන් තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතාකිරීම ජාතිවාදයක් නොවන බව මීට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ මහ ඇමතිවරයා, සිය ජීවිත කාලය තුළ තමා කිසි දිනෙක ජාතිවාදියකු නොවූ බව අවධාරණය කළේය.
"කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොකරන අතර තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින," බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිය අයිතිවාසිකම් දිනා ගනු වස් දියත් කළ 'එළුග තමිල්' පා ගමන පිටුපස සිංහල විරෝධයක් නොමැති බව පා ගමන අතරවාරයේත් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.
සිකුරාදා උද්ඝෝෂණය අතරවාරයේ අදහස් පළ කළ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ, ප්‍රධාන අමාත්‍යවරයාගේ 'ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ' ප්‍රකාශයන්ට විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සම්බන්ධ නැතැයි ආණ්ඩුව කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සඳහන් කළහ.

එහෙත් දෙමළ ජාතික සංධානය එම චෝදනාවත් මීට ඉහතදී ප්‍රතික්ෂේප කර තිබේ.
එළුග තමිල් උද්ඝෝෂණය සහ දෙමළ ජාතික සංවිධානය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.
වවුනියාවේ විරෝධතාවයේ නිරත වූ පිරිස ජනාධිපතිවරයාට භාරදීම පිණිස සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර වෙත භාර දුන්හ.
සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් උතුරු පළාත තුළ අනාදිමත් කාලයක සිට සහෝදරයන් ලෙසින් ජීවත්වන බව එහිදී සඳහන් කළ දිසාපතිවරයා, දේශපාලන වාසි උදෙසා ඇතැමුන් කරන ප්‍රකාශ එලෙසින්ම පිළිනොගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.









