ලසන්ත ඝාතනය: නව මරණ පරීක්ෂණ වාර්තාව මසක් ඇතුළත

2009 වසරේදී වෙඩි තබා ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩ ගැනිණි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග කෙරුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.
සැප්තැම්බර් 08 වනදා ලබා දෙනු ලැබූ ඉහත කී අධිකරණ නියෝගයත් සමග බොරැල්ල සුසාන භූමියේ දේහය තැන්පත් කොට තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි.
ගොඩ ගැනුණු සිරුරු කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගෙන ගොස් ඇති අතර දහවල් 01.30 ට මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව බලධාරීහු පවසති.
අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ මසක් ඇතුළත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty/ LAKRUWAN WANNIARACHCHI
ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදී හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගැනුණි.
සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර යළි ගොඩ ගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දී නොතිබුණේ පෞද්ගලිකත්වය සලකා මාධ්‍යවේදීන්ට එහි ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීමකට අනුව බව පොලිසිය පවසයි.
කෙසේ නමුත් එම ඉල්ලීම නොසලකා යම් කිසිවකු විසින් ඩ්‍රෝන් කැමරාවක් යොදා ගනිමින් එම අවස්ථාව රූගත කිරීමට උත්සාහ දරා ඇති අතර පොලිසියේ මැදිහත් වීමෙන් එය වලක්වා තිබේ.









