ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රියෝ පැරා ඔලිම්පික්; ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව
අදින් (07) ආරම්භ වී දින එකොළහක කාලයක් පැවැත්වෙන මෙවර 'රියෝ' 16 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයන් නව දෙනකු සහභාගී කෙරෙන බව ජාතික පැරා ඔලිම්පික් කමිටුව පවසයි.
සැප්තැම්බර් හත්වෙනි දා(07) බ්‍රසීලයේ 'රියෝ ඩි ජනෙයිරෝ' නගරයේ දී ආරම්භ කෙරෙන 15 වැනි පැරා ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක සංදර්ශනයට පෙර බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූ ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික සහ එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත පීරිස් සඳහන් කළේ එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළුව නව දෙනකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2016 පැරා ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන බවයි.
ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායම මේ වන විට 'රියෝ ඩි ජනෙයිරෝ' නගරයට ලඟා වී සිටින අතර ඉලක්කයට වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස්, ජවන සහ පිටිය තරඟ වලට ඔවුන් සහභාගී වෙන බවයි ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික ප්‍රියන්ත පීරිස් පවසන්නේ.
මීටර් සීය සහ දෙසීය මෙන්ම දුර පැනීම වැනි තරඟ වලට ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙනු ඇත.
2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙන ක්‍රීඩා සමාජ තිස් හයක් ශ්‍රී ලංකාව තුළ ඇති බව සඳහන් කළ ප්‍රියන්ත පීරිස් දේශීය සහ ජාත්‍යන්තර තරඟ වලට සහභාගී කරවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා අනුව සියලු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංචිත කරන බවත් ප්‍රකාශ කළේය.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා පැවැත්වුන ඩුබායි සහ බර්ලින් තරඟාවලීන්ට සහ චීනයේ පැවැත්වුන තරඟ සඳහා සහභාගී වූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
'රියෝ 16' පැරා ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව අඩුම වශයෙන් පදක්කම් තුනක් සඳහාවත් බලාපොරොත්තු තබන බවයි ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික සහ එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත පීරිස් සඳහන් කළේ.
රියෝ 16 පැරා ඔලිම්පික් තරඟාවලියේ සමාප්ති සංදර්ශනය සැප්තැම්බර් 18 වෙනි දින පැවැත්වෙයි.