ඔලිම්පික් යන්න බැරි වූ මාධ්‍යවේදීන් මඩ ගහනවා -ඇමති

ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා අවස්ථාවක් නොලැබීම නිසා ඇතැම් මාධ්‍යවේදීන් මඩ ප්‍රහාර එල්ල කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ක්‍රීඩකයන් නම දෙනෙකු වෙනුවෙන් නිලධාරීන් හතළිස් ගණනක් ඔලිම්පික් උළෙලට ගිය බවට පළ වන වාර්තා සාවද්‍ය බවයි ඔහු පවසන්නේ.
'ඇත්ත වශයෙන් ම ඔය කියන පත්තර වාර්තා සම්පුර්ණයෙන් ම බොරු. ඒ පත්තර වල සමහර ක්‍රීඩා කර්තෘවරුන්ට මේ ගමනට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මේ මඩ ප්‍රහාර එල්ල කරන්නේ. මේකට හතළිස් ගානක් ගියේ නැහැ. ඒක බොරු කතාවක්.' ඇමතිවරයා මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
රජයේ මුදල් භාවිත කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ නිලධාරීන් විසි ගණනක් පමණක් බවයි ඇමතිවරයා මෙහි දී අවධාරණය කර සිටියේ.
ඔලිම්පික් කමිටුව
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මුදල් භාවිතා කරමින් කී දෙනෙකු විදෙස් ගත වූයේ දැයි තමන් නොදන්නා බවද ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරකම් වලට අත පෙවීමට තමන්ට බලයක් නොමැති බවයි දයාසිරි ජයසේකර ඇමතිවරයා කියා සිටියේ.
'ඇමතිවරයාගේ මැදිහත් වීම ඔලිම්පික් කමිටුවට විශාල ප්‍රශ්නයක් වන බව ඔවුන් එක්ක මම කතා කරපු මේ කාල වකවානුව තුළ මට තේරුනා. පහු ගිය වකවානුව තුළ ඒ වගේ ඔලිම්පික් කමිටුවට අත ගහන්න ගිහිල්ල රණ්ඩු සරුවල් ගණනාවක් ඇති වුනා. තවමත් ඒක විසඳ ගන්න බැරි තැනක අපි ඉන්නේ.' ඔහු පැවසීය.
කෙසේ නමුත් සැප්තැම්බරය අවසන් වන්නට ප්‍රථම සියලු නීති රෙගුලාසි ගැසට් කරන බවත් ඉන් අනතුරුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ පවා මෙවැනි ගැටළු විසඳා ගත හැකි මට්ටමට පැමිණිය හැකි බවයි ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ.








