ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැද්දෙන් සිදාදියට
වන අලි දෙදෙනෙක් අම්බලන්තොට නගරයට මීටර් එකසිය පනහකින් පමණ ලංවී සිටින බව හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසයි.
පැරණි අලිමංකඩක් ඔස්සේ පැමිණි වන අලින් දෙදෙනා නගරය ආසන්නයේ පිහිටි කෙසෙල් වගාවක් තුළ අද දවස පුරාම රැඳී සිටි අතර පොලිසිය සහ වන ජීවී නිලධාරීන් ඔවුන් පළවා හැරීමේ උත්සාහයක නිරතව සිටියහ.
වන අලියෙකු අම්බලන්තොට නගරයට මෙතරම් ආසන්න වූයේ වසර පහළොවකට පමණ පසුවයි.
අද (26) අලුයම 04 ට පමණ අම්බලන්තොට පුහුලක්යාය ප්‍රදේශයේ ගැවසෙමින් සිටි මෙම වන අලින් දෙදෙනා පසුව අම්බලන්තොට වලවේ ගඟ තරණය කොට මෙම ප්‍රදේශයට පැමණි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වන අලින් දැක ගැනීමට විශාල වශයෙන් ජනතාව ප්‍රදේශයට පැමිණෙමින් සිටින අතර කලබල වී සිටින අලින්ගෙන් ඔවුන්ට සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීමට සහ අලි නැවතත් වනයට පළවා හැරීමට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබා දෙන ලෙසයි පොලිසිය නිවේදනය කළේ.
අලි පළවා හැරීමේ මෙහෙයුමට හම්බන්තොට කලමැටිය වන ජීවී කාර්යාල නිලධාරින්, අම්බලන්තොට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වන ජීවී නිලධාරින් කියා සිටියේ දවල් කාලයේ අලි එළවීමට උත්සාහ කිරීමෙන් මිනිසුන්ට මෙන්ම දේපළ හානි ද සිදු වීමේ අවදානමක් පවතින බැවින් රාත්‍රී කාලය වන තෙක් එහි රැඳී සිට අලි පළවා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.