ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපි මැරුණත් ඡන්දෙන් පස්සේ මන්ත්‍රීවරු එන්නේ නැහැ'
මුහුදු ඛාදනය හේතුවෙන් උන් හිටිතැන් අහිමි වී සිටින තමන් දූපතට වැටී ඇති එකම ගොඩබිම් මාර්ගයද අහිමි වීම නිසා දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බව වයඹ දිග වෙරළ තීරයේ පිහිටි නගුල්එළිය දූපතේ වැසියෝ පවසති.
ආරච්චිකට්ටුව මුතුපන්තියට නුදුරින් පිහිටි නගුල්එළිය ගම්මානයට වැටී ඇති එකම ගොඩබිම් මාර්ගය මුහුදු ඛාදනයට හසු වීම නිසා තමන් දූපතේ කොටු වී සිටින බවයි එහි වැසියන් කියා සිටියේ.
මාර්ගය මුහුදු ඛාදනයට හසු වීම වැළැක්වීම සඳහා බලධාරීන්ගේ මැදිහත් වීමෙන් වැලි වැටියක් යොදා තිබුණත් ඉන් ඵලක් වී නොමැති බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න වාර්තා කළේ.
හදිසි අවස්ථාවකදී වුවත් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩබිමට ළඟා වීමට තමාට සිදු වී ඇති බව නගුල්එළිය දූපත්වාසීහු පවසති.
දරුවන්ගේ අධ්‍යාපනය
ගොඩබිම් මාර්ගය අහිමි වීම නිසා දූපතේ වෙසෙන දරුවන්ගේ පාසල් ගමන අඩාල වී ඇති බවත් දෙමව්පියෝ කියා සිටියහ.
'මන්ත්‍රීවරු ඡන්දෙ ගන්න එනවා. අපේ ගෙවල්, පාරවල් හදලා දෙන්නම් කියලා ඒ අය ඇවිත් කියනවා. එහෙම කියලා ඡන්දෙ ගත්තට පස්සේ අපි මැරුණත් මේ පැත්තේ එන්න නැහැ. මේ සැරේ නම් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. ඡන්ද කාඩ් එක ඉරලා මුහුදට වීසි කරනවා.' නගුල්එළිය දූපතේ වෙසෙන මවක් පැවසුවාය.
නගුල්එළිය දූපතට වැටී ඇති ගොඩබිම් මාර්ගය මුහුදු ඛාදනයට ලක් වීම හේතුවෙන් එහි වැසියන් අපහසුතාවට පත් වී සිටින බව වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා පිළිගනියි.
මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සමග සාකච්ඡා කොට ඇතත් දැනට එම ආයතනය විසුරුවා හැර ඇති බැවින් පිළිසකර කිරීමේ කටයුතු ඉදිරියට කර ගැන යෑමේ හැකියාවක් නොමැති බව වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා වැඩිදුරටත් කියා සිටියේය.