ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බත්තලංගුණ්ඩුව 'මුහුදට දිය වීමේ අවදානමක'
බත්තලංගුණ්ඩුව දූපත මුහුදට දිය වී යෑමේ බරපතළ අවදානමක පවතින බව එහි වෙසෙන ධීවරයෝ පවසති.
ඉකුත් දෙදින තුළ දූපතේ උතුරු ප්‍රදේශය මුහුදු ජලයෙන් යට වී තිබූ අයුරු දැක ගත හැකි වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න කියා සිටියේ.
මුහුදු ජලය දූපත තුළට ගලා ඒම නිසා නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇත.
බත්තලංගුණ්ඩුව දූපතේ පුද්ගලයන් පන්දහසකට ආසන්න පිරිසක් ජිවත් වෙති.
වයඹ මුහුදු තීරයේ පිහිටි පල්ලියවත්ත දූපතේ කලකට ඉහතදී පවුල් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ජිවත් වූ අතර දූපත මුහුදට සේදී යාම හේතුවෙන් මේ වන විට එහි ජිවත් වන්නේ පවුල් පනහකට ආසන්න සංඛ්‍යාවකි.
පල්ලියවත්ත දූපතේ පාසලක්, පොලිසියක් හා තැපැල් කාර්යාලයක් පිහිටා තිබූ අතර එම ගොඩනැගිලි සියල්ල මේ වන විට මුහුදට බිලි වී ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න පවසන්නේ.
තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ ශේෂ වී ගිය කොටස් පමණක් එහි දැක ගත හැක.
පල්ලියවත්ත දූපත සහ එහි වැසියන්ට අත් වූ ඉරණම තමන්ටද අත් විය හැකි බවයි බත්තලංගුණ්ඩුව ධීවර සමිතියේ සභාපති ඩෙන්සිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.
බත්තලංගුණ්ඩුව දූපත සමුද්‍ර ඛාදනයට ගොදුරු වීම අවම කිරීම සඳහා පිළියම් යෙදීමට බලධාරීන් වහා මැදිහත් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
මුහුදු ජලය ගැලීම හේතුවෙන් විපතට පත් පවුල් වෙත සහන සැලසීම සඳහා පියවර ගත යුතු බවත් ධීවරයෝ පවසති.