ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පළාත් සභාවලට ඉඩම් බලතල නැහැ - නීතිපති
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බව තීන්දු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනයක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් කීපයක් අත්පත් කර ගනිමින් එහි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් එම ඉඩම් හිමියන් විසින් නැගෙනහිර පළාතේ මහාධිකරණය වෙත නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.
ඉහත කී එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස විරෝධතාවක් ඉදිරිපත් කළ රජයේ නීතිඥයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බැවින් නඩුව විභාග කිරීමට පළාත් මහාධිකරණයට බලයක් නොමැති බවයි ප්‍රකාශ කළේ.
එහෙත් රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පළාත් මහාධිකරණය රජයේ ඉඩම් හැර සෙසු ඉඩම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමට තමන්ට බලය පවතින බව තීන්දු කළේය.
පළාත් මහාධිකරණයේ එම තීන්දුව අහෝසි ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙතද පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර නැගෙනහිර පළාත් මහාධිකරණය විසින් ලබා දෙනු ලැබූ තීන්දුව ස්ථිර කළේය.
ඒ අනුව නැගෙනහිර මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දු දෙකම අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම පෙත්සම තුළින් නීතිපතිවරයා ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.
පෙත්සම සැප්තැම්බර් මස 13 වනදා සලකා බැලීමට නියමිතයි.