ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් ඝාතනය: අනුර සේනානායක 'සාක්ෂි වසන් කළා'
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන මෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පොලිසියට නියෝග කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එමගින් ඔහු සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.
මියගිය රග්බි ක්‍රීඩකයාගේ මුදල් පසුම්බිය කිරුපලන ප්‍රදේශයෙන් සොයා ගත් නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වන මෙන් පොලිසියට බලපෑම් කිරීම සැකකරුට එරෙහිව පොලිසිය එල්ල කළ තවත් චෝදනාවක්.
වසීම් තාජුදීන්ගේ රිය ගිනි ගෙන සුළු වේලාවකින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිවිල් ඇඳුමින් සැරසී ඒ අසල ගැවසුන බවට සාක්ෂි ලැබී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන මැයි 26 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
හදිසි රිය අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය.