ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගංවතුර නරඹන අයත් කෑම ගත් නිසා ආහාර හිඟයක්'
ගංවතුර විපත නැරඹීමට පැමිණි ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා ගැනීම නිසා දුෂ්කර ස්ථානවල කොටු වී සිටින උදවියට ආහාර හිඟයක් ඇති වී තිබෙන බව සමාජ ක්‍රියාධරයෝ පවසති.
'ඉතා අවාසනාවන්ත දේ තමයි මේ ගංවතුර බලන්න සංචාරකයෝ ලෙස ආ අය මග දෙපස සිට මේ පිසූ ආහාර ලබා ගත්තා. ඒ නිසාම ඈත ප්‍රදේශවල තවමත් බෝට්ටුවලින් පමණක් ළඟා විය හැකි ස්ථාන වල අද ආහාර හිඟයක් ඇති වුනා.' සමාජ ක්‍රියාධර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.
කඳවුරු වල සිටින උදවියට ආහාර සැපයීම කළමනාකරණය කර ගත හැකි නමුත් තැන් තැන්වල අවිධිමත් ලෙස කොටු වී සිටින පිරිසට මේ හේතුවෙන් ආහාර හිඟ වී ඇති බවයි ඔහු පවසන්නේ.
'මල්වාන බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බෝට්ටුවල නංවාගෙන ඒමට මුදල් අය කළ පිරිසක් වාර්තා වුනා. හමුදාව ඔවුන් පලවා හැරියා.' ඔහු තවදුරටත් පැවසීය.
කෙසේ නමුත් ස්වේච්ඡා සේවකයන් නොසිටින්නට අවතැන් වුවන්ට ආහාර ලබා දීමේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නොහැකි වන බව ද ඔහු අවධාරණය කළේ බීබීසීයේ සරෝජ් පතිරණ කළ විමසීමක දීයි.
අවශ්‍ය පමණට ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමද අසීරු කටයුත්තක් වී ඇති බවයි රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.
'අද මේ වෙනකොට තුන් දහසකට ආසන්න පිරිසක් අංගොඩ සහ ඒ ආසන්න ප්‍රදේශවල ඉන්නවා. පාන් විතරයි බොහෝ විට ඒ යට දෙන්නට සිද්ධ වෙන්නේ. ඒ අවශ්‍ය පාන් ප්‍රමාණය සොයා ගැනීම පවා අර්බුදයක් බවට පත් වෙලා. මේ දේ සිද්ධ වෙන්නේ මග දෙපස සිටින අයට ආහාර බෙදා දීමට ආහාර රැගෙන එන අය කටයුතු කරන නිසා. ඔවුන් විසින් ම ඒවා බෙදා දීමට යාම නිසා. මෙහි යම් සම්බන්ධීකරණයක් ඇති කිරීම අවශ්‍යයි.'
මේ සඳහා 'ෆ්ලඩ් රිලීෆ් ශ්‍රී ලංකා' නමින් ෆේස්බුක් පිටුවක් පිහිටුවා ඇති බවත් ඒ හරහා ආහාර බෙදා හැරීමේ ක්‍රියා දාමය යම් තාක් දුරකට කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.