උප නායක පදවිය ගැන නිහතමානී ආඩම්බරයක් - ලහිරු

ශ්‍රී ලංකා පිලේ උප නායක පදවිය හිමි වීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වන නමුත්, තනතුරු ගැන නොසිතා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම සිය අභිලාශය බව ලහිරු තිරිමාන්න පවසයි.

ලහිරු තිරිමාන්න ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල උප නායක පදවියට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය සතියේ නිවේදනය කළේය.

ඉන් අනතුරුව සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු ඒ බව කියා සිටියේ.

'පන්දු යවන්නටත් හොඳ නායකයෝ වෙන්න පුළුවන් කියල මාත් විශ්වාස කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'පන්දු යවන්නටත් හොඳ නායකයෝ වෙන්න පුළුවන් කියල මාත් විශ්වාස කරනවා'

විසි හතර හැවිරිදි වියේදී කණ්ඩායමේ භාරධූර වගකීමක් පවරනු ලැබීම ගැන සතුටු වන බවද ලහිරු තිර්මාන්න සංදේශයට පැවසීය.

එළැඹෙන එංගලන්ත සංචාරයේදී හොඳින් දස්කම් දැක්වීම පිළිබඳව මේ මොහොතේ තමන් ඇතුළු කණ්ඩායමේ අවධානය පළ වී තිබෙන බව පවසන ඔහු, පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත්ව එංගලන්ත පිලේ නියෝජ්‍ය පුහුණුකරු තනතුර භාර ගැනීම කණ්ඩායමට අභියෝගයක් බවද පිළිගත්තේය.

පෝල් ෆාබ්‍රේස්

"පෝල් ෆාබ්‍රේස් හොඳ පුහුණුකරුවෙක් ඒත් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

ලහිරු තිර්මාන්න කණ්ඩායමේ උප නායක පදවියට පත් වන්නේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සහ අනෙක් කණ්ඩායම්වල උප නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් ඉවත් කරමින්.

චන්දිමාල් තමාගේ සමීප මිත්‍රයකු බව පවසන ලහිරු, ඔහු ඉතා ඉක්මනින්ම යලිත් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

පිතිකරුවන්ට පමණක් නොව, පන්දු යවන්නටත් කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකියාව තිබෙන බවට ලසිත් මාලිංග දක්වන අදහස තමාත් අනුමත කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව උප නායකයා සංදේශයට කියා සිටියේය.