
එස්එල්පීඑල් තරඟාවලිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් සතු වගකීමක් බව අයිසීසී ය පවසයි
තරඟ පාවාදීමේ උත්සාහයන් පිළිබඳව විනිසුරුවන්ට සහ ක්‍රීඩකයන්ට මෙන්ම ඇතැම් ක්‍රීඩා බලධාරීන්ටද එල්ලවන චෝදනා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය විනාශ කරන බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මතු වී තිබෙන දූෂණ චෝදනා ගණනාවක් පිළිබඳව බීබීසී සංදේශය අයිසීසීයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදී.
"ඔවු ඇත්ත වශයෙන්ම ඕනෑම දූෂණ චෝදනාවකින් ක්‍රීඩාවේ කීර්තිය නැතිවෙනවා. අයිසීසීය කිසිසේත්ම දූෂණය ඉවසන්නේ නෑ. දූෂණ පිලිබඳ එල්ලවන ඕනෑම චෝදනාවක් හදිසි කාරණයක් ලෙසින් සලකල පරීක්ෂණ පවත්වන්න කියල අපි සාමාජික රටවලට උපදෙස් දීල තියෙනවා," බවයි ඔහු පවසන්නේ.
ක්‍රීඩාවේ කීර්තිය
"ඔවු ඇත්ත වශයෙන්ම ඕනෑම දූෂණ චෝදනාවකින් ක්‍රීඩාවේ කීර්තිය නැතිවෙනවා. අයිසීසීය කිසිසේත්ම දූෂණය ඉවසන්නේ නෑ"
අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන්
කෙසේ නමුත් පසුගියදා නිමාව දුටු එස්එල්පීඑල් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වගකීමක් බව ජගත් පාලක මණ්ඩලයේ අදහසයි.
එස්එල්පීඑල් තරඟාවලියේ තරඟ වැදුණු කඳුරට වොරියර්ස් කණ්ඩායම මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ හෙයින් එය තමා විසින් මිලදී ගන්නා ලද බව ඩේලි මිරර් පත්‍රයට පවසා තිබූ තරඟාවලියේ ප්‍රධාන සංවිධායක සන්දීප් බැමර්, එය බැඳියාවන් අතර ගැටීමක් (Conflict of Interest ) බවද පිළිගෙන තිබුණි.
බැඳියාවන් අතර ගැටීම ප්‍රබල දූෂණයක් බව දූෂණ විරෝධී ක්‍රියාකාරිකයන්ගේ මතය වන අතර, සන්දීප් බැමර් තරඟාවලිය සංවිධානය කළ සමර්සෙට් එන්ටටේන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ප්‍රධාන විධායකයායි.
කෙසේ නමුත් එස්එල්පීඑල් යනු රටක අභ්‍යන්තර තරඟාවලියක් බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට තමන්ට බලයක් නැති බවයි ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ.
ඩේලි මිරර් පත්‍රය හෙළි කළ කරුණු පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේ, සන්දීප් බැමර් කඳුරට වොරියර්ස් කණ්ඩායම මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සමර්සෙට් එන්ටටේන්මන්ට් වෙන්චර්ස් සමාගම අතර ගිවිසුම උල්ලංඝනය වී නොමැති බවයි.
එහිදී දූෂණයක් සිදුවී නැති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බව ද සභාපතිවරයා සඳහන් කළේය.












