ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර්: ජලය දුලබ රටක් සෑම තණතීරුවකටම දෛනිකව ලීටර් 10,000ක් සොයාගන්නේ කෙසේ ද?
ආජන්ටිනාව සහ ප්‍රංශය අතර ලෝක කුසලාන අවසන් මහා තරගය ඉරිදා පැවැත්වීමට නියමිත ය. තරගාවලිය ආරම්භයේ සිටම ජලය ටොන් 300කට ආසන්න ප්‍රමාණයක් ලුසේල් ක්‍රීඩාංගණයට සපයා ඇත.
කටාරයේ කාන්තාර දේශගුණය මධ්‍යයේ තරග සහ පුහුණු ක්‍රීඩා පිටිවල තණතිල්ල නිසි පරිදි පවත්වාගැනීම සඳහා දිනකට ජලය ලීටර් 10 000ක් ඉසිනු ලැබේ.
රටෙහි අභ්‍යන්තර දියුණුව මෙන්ම පාරිසරික බලපෑම ද සලකමින් ලෝක ආකර්ෂණය දිනාගන්නා තරග ඉසව් පැවැත්වීම, ලොව ජල ගැටළුව අධිකම රට වන කටාරයට අභියෝගයක්ව තිබේ.
කාන්තාර දේශය
ලෝක කුසලාන ක්‍රීඩාංගණ අටෙහි කාර්ය මණ්ඩලයට ඇති ගැටළුව ඊටත් වඩා දරුණුවීමට ඉඩ තිබුණි.
මුලින් සැලසුම් කළ පරිදි ගිම්හානයේ දී තරගාවලිය පැවැත්වූයේ නම්, පුහුණු තණතීරු 136ක් ද සමග එක් ක්‍රීඩාංගනයකට දිනකට ජලය ලීටර් 50,000ක් පමණ අවශ්‍ය වනු ඇත.
අනෙකුත් රටවල තත්ත්වයට සාපේක්ෂව කටාර්හි ක්‍රීඩා පිටියක් සකස් කිරීම "වෙනස් මට්ටමේ අභියෝගයක්" ලෙස කාර්ය මණ්ඩලය විස්තර කර ඇත.
තරගාවලියේ හදිසි භාවිතය සඳහා දෝහාවලට උතුරින් වර්ග මීටර් 425 000ක තෘණ රක්ෂිතයක් (තණතීරු 40කට ප්‍රමාණවත්) පවත්වාගෙන යයි. ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතා කර ඇති අතර, තරග සහ පුහුණු තණතීරු සඳහා ජලය ලබාගෙන ඇත්තේ කෘත්‍රිම ප්‍රභවයකිනි - ඒ, ලවණ ඉවත් කළ ජලය යි.
කටාර් විශ්වවිද්‍යාලයයේ සමුද්‍ර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය රාධුවන් බෙන්-හමදු මෙසේ පවසයි: "ස්වභාවික ජල සම්පත් පමණක් භාවිතා කළා නම් කටාර්හි ජීවත් විය හැක්කේ මිනිසුන් 14 000කට පමණ යි."
"එම ජනගහණයෙන්, ලෝක කුසලාන ක්‍රීඩාංගණයකින් හතරෙන් එකක්වත් පිරෙන්නේ නැහැ."
කටාර් රාජ්‍යයට ගංගා නොමැති අතර වසරකට සෙ.මී.10ට වඩා අඩු වර්ෂාපතනයක් ලැබේ.
වර්ධනය වන ගැටලුවක්
මිලියන 2.9ක පමණ ජනතාවක් කටාරයේ ජීවත් වන බැවින් කටාර්හි ස්වභාවික ජල මූලාශ්‍රවල ධාරිතාවට අමතරව තවත් ජල මූලාශ්‍ර මත යැපීමට එරට වැසියන්ට සිදුවේ.
"ජලය ලොකු ප්‍රමාණයක් ලබාගන්නේ ලවණ ඉවත්කිරීමෙන්. ජලයෙන් 100%ක්ම පාවිච්චි වෙන්නේ ගෘහස්ථ භාවිතයට," එක්සත් රාජධානියේ පරිසර, සාගර හා ජලජීවී වගා විද්‍යා මධ්‍යස්ථානයේ මැද පෙරදිග වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය විල් ලෙ කෙස්නේ පවසයි.
ලවණ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ දී මුහුදෙන් ජලය ලබාගෙන, ලුණු සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කරනු ලැබේ. එවිට එය පානය කිරීමට සහ සේදුම් කටයුතු සඳහා සුදුසු වේ.
කටාරය මේ ආකාරයෙන් විශාල ජල ප්‍රමාණයක් නිපදවන නමුත් ජනගහණ වර්ධනය සහ ලෝක කුසලානය වැනි ප්‍රධාන ක්‍රීඩා ඉසව් පැවැත්වීමේ දී ජල අවශ්‍යතාව තවදුරටත් ඉහළ යයි.
මිලියනයක් පමණ සංචාරකයින් මෙරටට පැමිණෙන බැවින් තරගාවලිය තුළ පරිභෝජනය 10%කින් ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
2050 වන විට ජලයෙන් ලවණ ඉවත් කිරීමේ ධාරිතාව දිනකට ලීටර් බිලියන 80කින් වැඩිවිය හැකිබවට ඇස්තමේන්තු කර තිබේ.
කටාරයට අසීමිත මුහුදු ජල සැපයුමක් ඇති අතර, විශාල ස්වාභාවික වායු සංචිත නිසා දැවැන්ත ජල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැවැන්ත මූල්‍ය සම්පත් ලැබේ. එනමුදු මෙම ක්‍රියාවලියේ එක් ප්‍රධාන අඩුපාඩුවක් ඇත. ඒ, ඉහළ බලශක්ති පරිභෝජනය යි.
"ගල්ෆ් කලාපය පුරා ජලයේ ලවණ ඉවත් කරන්න භාවිතා කරන ශක්තියෙන් 99.9%ක් ලැබෙන්නේ ලාභදායීව ලැබෙන හයිඩ්‍රොකාබන් ඉන්ධනවලින්," ආචාර්ය ලෙ කෙස්නේ පවසයි.
තෙල් සහ ගෑස් වැනි හයිඩ්‍රොකාබන ඉන්ධන අධික පරිසර දූෂණයක් ඇති කරයි. එහෙත් කටාර් රාජ්‍යය හරිතමය පාරිසරික ඉලක්ක ළඟාකර ගැනීමට ද බලාපොරොත්තු වේ.
2030 වන විට හරිතාගාර වායු විමෝචනය 25%කින් අඩුකිරීම ඔවුන්ගේ අරමුණ වන අතර, එරට ලෝක කුසලාන සංවිධායක කමිටුව පවසන්නේ තරගාවලිය කාබන් විමෝචනයෙන් තොරබව යි. නමුත් එම ප්‍රකාශය Carbon Market Watch වැනි පාරිසරික කණ්ඩායම් විසින් ඊට එරෙහිව කරුණු දක්වා තිබේ.
කටාරය කාබන් පියසටහන අඩු කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර එයට ජලය නිෂ්පාදනය ද ඇතුළත් වේ.
හරිත ඉලක්ක
"සංවර්ධනයන් කිහිපයක් සිදුවෙමින් පවතිනවා," ආචාර්ය ලෙ කෙස්නේ පවසයි.
"ඔවුන් ජලයේ ලවණ ඉවත් කරන්න සූර්ය ශක්තිය භාවිතා කරන්න උත්සාහ කරනවා. සූර්ය පැනලවලින් විදුලිය නිපදවලා ජලය ප්‍රතිලෝම ආසවනය කරන්න හදනවා වෙන්න පුළුවන්. නැත්නම් ජලය වාෂ්ප කරන්න සෘජුවම සූර්ය තාපය භාවිතා කරන්න හදනවා ඇති."
ප්‍රතිලෝම ආසවන ක්‍රියාවලිය සිදුකරන්නේ මුහුදු ජලය පටලයක් හරහා ගමන් කරවීමෙනි. එවිට ඵලදායි ලෙස අපද්‍රව්‍ය ඉවත් වේ. ඉන්පසු ජලය වාෂ්ප වන තෙක් රත් කර, පසුව ඝනීභවනය කරවනු ලබන අතර එවිට ඉතිරි අපද්‍රව්‍ය ද සම්පූර්ණයෙන්ම පාහේ බැහැර වේ.
සූර්ය බලශක්තිය සහ කාර්යක්ෂම ලවණ ඉවත් කිරීමේ කර්මාන්තශාලා හඳුන්වාදීමට කටාරය බලාපොරොත්තු වන්නේ එය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ලෙස ද සැලකෙන බැවිනි.
දේශපාලන ආරවුලක් මත අසල්වාසී ගල්ෆ් රටවල් මෑතක දී ආර්ථික සම්බාධක පැණවීමත් සමග කටාර් රාජ්‍යයට ආහාර හිඟයක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස කටාරය දැන් ශුෂ්ක භූමිවල කිරි හා කෘෂිකාර්මික ගොවිතැන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් පවතියි. නමුත් ඉන් දැනටමත් සීමිතව පවතින ස්වභාවික ජල සංචිතවලට ඇති ඉල්ලුම වැඩි කරනු ඇත.
"කටාර්හි ජල සම්පතෙන් තුනෙන් එකක් කෘෂිකර්මාන්තය භාවිතා කරනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සපයන්නේ 1% - 0.1%කටත් වඩා අඩු දායකත්වයක්," ආචාර්ය බෙන්-හමදු පවසයි.
බහුතර රටවල් මෙන් නොව, කටාරය සිය ස්වභාවික සම්පත් ආහාර නිෂ්පාදනය සඳහා අධික ලෙස ආයෝජනය කරන්නේ අපනයන හෝ ආර්ථික වර්ධනය සඳහා නොවේ. හදිසි අවස්ථාවක ජනතාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ වටිනාකම ඔවුන් අවබෝධ කරගෙන ඇති බැවිනි.
කටාරයේ බලශක්තිය අධිකව වැයවන ආකාරයේ සැලසුම් එම කලාපයෙන් පිටත රටවලට ආගන්තුක බවක් දැක්වුව ද, ආචාර්ය ලෙ කෙස්නේ පවසන්නේ එරට මුහුණ දෙන අභියෝග ද අන් රටවල අභියෝගවලට වඩා තරමක් වෙනස් බවයි.
"ශුෂ්ක රටවලට ජලය අවශ්‍ය යි. සීත දේශගුණයේ දී උණුසුම සොයා ගන්න ඕන. ඒ ඒ අයට ඒ ඒ අභියෝග තියෙනවා."
"බලශක්තිය ගොඩක් වැයවෙන මේ ක්‍රියාවලීන් ජයගන්න රට සහ කලාපය ගන්නා තීරණ ගැන මම සුබවාදීව සිතනවා. ජලය නැතුව ජීවත් වෙන්න බැහැනේ," ආචාර්ය බෙන්-හමදු පවසයි.
කටාර් රාජ්‍යය තවත් දැවැන්ත ගෝලීය ක්‍රීඩා ඉසව්වක් වන 2036 ඔලිම්පික් උළෙල සඳහා ලංසුවක් ඉදිරිපත් කරනබවට රාවයක් පැතිරීමත් සමග, එරට ජයගත යුතු තවත් අභියෝග රාශියක් බිහිවීමට ඉඩ තිබේ.