තරිඳු පෙරේරා: ලොව ඉහළම ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවට තේරුණු 'එකම ශ්‍රී ලාංකිකයා'

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Tharindu Perera/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, තරිඳු පෙරේරා
    • Author, කුමුදු ජයවර්ධන
    • Role, BBC සිංහල සේවය

ක්‍රිකට් ලෝක ඉතිහාසයේ සුවිශේෂී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ නම රැන්දූ ක්‍රීඩකයින් රැසක් සිටිති. ඔවුහු පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වූ ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ වෙති.

මේ අතර, ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නම බැබළවීමට ද ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමි වී තිබේ.

ඒ, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ඉහළම සුදුසුකම වන විශේෂඥ පුහුණුකරු (ECB Specialist Coach) හෙවත් සිව් වන මට්ටමේ (ECB level 4) පුහුණුකරු පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීමය.

මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර ගත් ශ්‍රී ලාංකිකයා, ශ්‍රී ලංකාවේ හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන තරිඳු පෙරේරාය. ඔහු මේ වන විට එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ පළමු පෙළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් දෙවන පෙළ පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සේවය කරමින් සිටියි.

මෙතෙක් ගමන් මග

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Wakefield Thornes Cricket Club/Facebook

තරිඳු පෙරේරා අධ්‍යාපනය ලැබුවේ, කොළඹ අසෝක විද්‍යාලයෙනි. බීබීසී සිංහල සේවය සමඟ ඔහු පැවසූ පදිරි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ අහම්බෙනි.

"මම 6 වසරේ ඉන්න කාලේ අපේ පන්තියට ඇවිත් කිව්වා ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට කැමති අය හවසට එන්න කියලා. ඒ කාලේ අම්මා හැම දා ම මාව එක්කගෙන යන්න ඉස්කෝලේ ගාවට එනවා. මම ඉස්කෝලේ ඇරිලා අම්ම ළගට දුවගෙන ගිහින් ඇහුවා ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්න ද කියලා. අම්මා කැමැත්ත දුන්නා. මම එදා ඉඳන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා."

පසුව ඔහු 13 පහළ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනුණු අතර පසුව එම කණ්ඩායමේ නායකත්වයට ද පත් විය. ඉන්පසු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල නායකත්වය දැරුවේ ද, තරිඳු පෙරේරාය.

17න් පහළ ජාතික ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් වූ ඔහු, 1999 වසරේ පිහිටවූ ශ්‍රී ලංකාවේ පළමු පන්දු යවන්නන්ගේ ඇකඩමියට ද තෝරා ගනු ලැබිණි.

එංගලන්තයට ගිය හැටි

2004 වසර සිය ජීවිතයේ තීරණාත්මක වසරක් වූ බව තරිඳු පෙරේරා පවසයි. ඒ, සිය පියාණන්ගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන්ගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට සිදුවූ හෙයිනි.

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Tharindu Perera

"මම ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ගැහුවා දිගටම. ඒත් ජාතික කණ්ඩායමට එන්න ගොඩක් තරගකාරීත්වය වැඩි වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටක පළමු පෙළ ක්‍රිකට් ගහලා ජීවිතය ගොඩ නගා ගන්න අමාරුයි කියන එකත් මට තේරිලා තිබුණා. ඒ අතරතුර එංගලන්තයේ හිටිය මගේ ඥාතියෙක් කිව්වා ක්‍රීඩාව ගැන ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම 2005දී රෝහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව උපාධිය කරන්න පටන් ගත්තා. ඒ අතරේ මම එංගලන්තයේ පොඩි පොඩි ක්ලබ්වල ක්‍රිකට් ගැහුවා දිගටම."

ඒ අනුව, 2007 වසරේදී ඔහු නොදම්ටන් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ දෙවන පෙළ කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට සිය උපාධිය නිම කිරීමට නොහැකි වූ අතර 2011 වසරේදී ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය.

එහෙත්, අපේක්ෂා කළ පරිදි එය සාර්ථක නොවූ හෙයින් ඔහු යළිත් එංගලන්තයට ගියේය.

එහිදී ඔහු යෝක්ෂයර් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් පුහුණු කිරීම ද සුළුවෙන් ආරම්භ කළේය.

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Yorkshire Cricket Club

2014 වසරේදී ඔහු වේක්ෆීල්ඩ්හි Ceylon Cricket Academy නමින් ක්‍රිකට් පාසලක් ආරම්භ කළේය. ඒ සමගම ඔහු ක්‍රිකට් පුහුණුකරු උපාධිය ආරම්භ කළේය.

"මේ කාලෙත් මට ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මෙහෙ ගොඩක් වියදම් වැඩියි. උපාධි ගාස්තුත් ගොඩක් වැඩියි. තාත්තාත් නැති වුණ නිසා මට මෙහෙ රස්සාවල් කිහිපයක් කරන්න වුණා ජීවත් වෙන්නයි, ඉගෙන ගන්නයි. ඒ නිසා ම 2009 පටන් ගත්ත උපාධිය ඉවර කරන්න පුළුවන් වුණේ 2017දී," තරිඳු පෙරේරා අතීතය ආවර්ජනය කළේය.

පුහුණුකරුවෙකු ලෙස පැමිණි මග

සිය ක්‍රිකට් පාසල පවත්වාගෙන යන අතරතුර ඔහුට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ 10න් පහළ, 14න් පහළ සහ කාන්තා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලැබිණි.

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Yorkshire Cricket Club

ඡායාරූප ශීර්ෂ වැකිය, තරිඳු පෙරේරා එංගලන්ත නායක ජෝ රූට් සමග

ඔහු යෝක්ෂයර් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට මේ වසරේදී පත් කෙරුණු අතර පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ පුහුණුකරු පාඨමාලාව සඳහා ඔහු සුදුසුකම් ලැබුවේ, යෝක්ෂයර් ප්‍රාන්තයෙන් ලැබුණු මග පෙන්වීම සමගිනි.

"2017දී මම උපාධිය ඉවර කළා. ඊට පස්සේ අවුරුදු එක හමාරකට පස්සේ මම ලෙවල් 4 එකට ඇප්ලයි කළා. ඒකට තේරෙන එක හරිම අමාරුයි. ලොකු ප්‍රෝසෙස් එකක් තියෙනවා. කොහොම හරි ඒකට සිලෙක්ට් වෙන්න මට පුළුවන් වුණා."

ඒ අනුව, ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකුට ලබා ගත හැකි ඉහළම සුදුසුකම වන 4 වන මට්ටමේ පුහුණුකරු පාඨමාලාව මේ වසරේ ඔක්තෝබර් 29 වන දා ආරම්භ කිරීමට නියමිතය.

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Yorkshire Cricket Club

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු යෝක්ෂයර් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට මේ වසරේදී පත් කෙරුණු අතර පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරයි.

විශේෂඥ පුහුණුකරු පාඨමාලාව

මෙය වසර දෙක හමාරක පාඨමාලාවකි.

මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ හැක්කේ, 3 වන අදියරේ පාඨමාලාව සාර්ථකව අවසන් කර පුහුණුකරුවෙකු ලෙස වසරකට නොවැඩි කාලයක් සේවය කර ඇති පුහුණුකරුවන්ටය.

ඊට අමතරව ඊට සුදුසුකම් ලැබීම සඳහා අයැදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ සහ තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.

විශේෂඥ පුහුණුකරු පාඨමාලාව හැදෑරූ පුහුණුකරුවන්

මෙතෙක් මෙම විශේෂඥ පුහුණුකරු පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇත්තේ, ලෝකයේ පුහුණුකරුවන් තිදෙනෙකු පමණි.

ඒ, ජේසන් ගිලෙස්පී (Jason Gillespie), පීටර් මුවර්ස් (Peter Moores) සහ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) යන තිදෙනා පමණි.

පසුගිය වසරේ මෙම පාඨමාලාව ආරම්භ කළ පුහුණුකරුවන් සංඛ්‍යාව 4 දෙනෙකි. ඒ, මාකස් ට්‍රෙස්කොතික් (Marcus Trescothick), ෆිල් සිමන්ස් (Phil Simmons), ඇන්ඩෲ ගේල් (Andrew Gale) සහ ඇලෙක්ස් ගිඩ්මන් (Alex Gidman) යන සිව් දෙනාය.

මේ වසරේ තරිඳු පෙරේරා සමග එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට් මෙම පාඨමාලාව ආරම්භ කිරීමට නියමිතය.

තරිඳු පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Yorkshire Cricket Club

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ හිටපු ප්‍රධානී ජෙරම් ජයරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මගේ දැනුමේ හැටියට ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙක් ලෙවල් 4 පාඨමාලාව හදාරලා නැහැ," යනුවෙනි.

"මම ගොඩක් දුක් විඳලා මේ තත්ත්වයට ආවේ. මගේ අම්මා කළුබෝවිල අපේ ගෙදර ඉන්නවා. තාත්තා ජපානයේ වැඩ කළ නිසා අම්මා තමයි මගේ හැම වැඩකට ම මට උදව් කළේ. මගේ අරමුණ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නම බබළවන එකයි. ඒක මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කරන්න බැරි වුණත් මම අධෛර්යවත් වුණේ නැහැ. පුහුණුකරුවෙකු විදිහට මම ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා," තරිඳු පෙරේරා වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් කියවන්න: