ශ්‍රී ලංකා ක්‍රිකට්: කේප්ටවුන් පරාජයෙන් පසු ලැබෙන ප්‍රතිචාර

කේප්ටවුන් පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අඟහරුවාදා (මාර්තු 19) කේප්ටවුන් හි පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේ සුපිරි පන්දු ඕවරයකින්ද පසුවය.

තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට අවස්ථාව තිබූ බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතය වේ.

විශේෂයෙන්ම මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරඟවලදී දිගින් දිගටම ලද පරාජයන් හමුවේ ක්‍රීඩාලෝලීන් දැඩි ලෙස කණගාටුවට පත්ව ඇති බව සමාජ මාධ්‍ය තුළ දැක්වෙන අදහස් වලින් පෙනේ.

තරඟයේ වුණ දේ:

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පන්දු ඕවර 20 තුළදී කඩුලු හතක් දැවී ලකුණු 134ක් රැස්කර ගැනීමට සමත් වූහ.

කමිඳු මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 41ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් තරඟය පහසුවෙන් ජයගනු ඇතැයි අපේක්ෂා කළද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන ධනංජය ද සිල්වා, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ පිතිකරුවන්ට ලෙහෙසියෙන් ලකුණු ලබා ගැනීමට අවස්ථාව ලබා නොදුන්හ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ඉනිමේ 17 වන පන්දු ඕවරයේදී එතෙක් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් මිලර් ලකුණු 41 කට දුවද්දී දැවී යාමත් සමගම තරඟය වඩාත් උණුසුම් විය.

අවසාන පන්දු ඕවරය වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරඟය ජයගැනීම සඳහා ලකුණු පහක් අවශ්‍ය විය.

පළපුරුදු ජේපී ඩුමිනි සමග ඩෙල් ස්ටෙයින් කඩුල්ලේ සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසාන පන්දු ඕවරය යවන ලද්දේ ඉසුරු උදාන විසිනි.

එම ඕවරයේ අවසාන පන්දුව වනවිට තරඟයේ ජය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වී තිබිණ.

ඩුමිනි දුවද්දී දැවීයාමෙන් පසු පිටියට පිවිසි ඉම්රාන් තාහිර් දකුණු අප්‍රිකානු ඉනිමේ අවසාන පන්දුවට මුහුණ දුන්නේය.

ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව වුයේ දෙකකි.

FaceBook

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

නායක ලසිත් මාලිංග පන්දු රකින්නන් නැවතත් ස්ථාන ගතකර උදානට පන්දු යැවීමට සැලැස්වීය.

තාහිර්ගේ පිත්තේ කොනක වැදුණු පන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත ගියේය.

සැණෙකින් දකුණු අප්‍රිකානු පිතිකරු යුගලය ලකුණක් කරා දිව ගියහ. ශ්‍රී ලංකා කඩුලු රකින්නා කලබල විය. පන්දුව රැකගත්ත ද ස්ටෙයින් දුවද්දී දවාගැනීමට ඔහු අසමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන් තම ඕවර 20 නිමවන විට කඩුලු අටක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව වුයේ 134කි.

ඉන්පසුව තරඟයේ ජය පරාජය තීරණය කළේ සුපිරි ඕවරයකිනි.

ප්‍රථම ඕවරයට මුහුණදුන් අප්‍රිකානුවන් ලකුණු 15ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිතිකරු යුගලයට පිළිතුරු ලෙස රැස්කර ගත හැකි වුයේ ලකුණු 5ක් පමණි.

ප්‍රතිචාර:

ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණයෙන් අනතුරුව එක්දින තරඟාවලිය 5ට බින්දුවක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයේ ජයග්‍රහණය අතහැරී යෑම අවාසනාවක් බව ක්‍රීඩාලෝලීහු පවසති.

සමහරු සමාජ මාධ්‍ය හරහා සමහර ක්‍රීඩකයින් උපහාසයට ලක් කර තිබුණාහ.

තිබුණාහ.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

එහෙත් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුබ පැතුවේය.

"කොල්ලනේ නියමයි. එකක් මතක තියාගන්න, අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමගයි! මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා." යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

කියවන්න: