ක්‍රිකට් වාර්තා රැසක් අලුතින් ලියූ එංගලන්ත - කොදෙව් එක්දින තරගය

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ග්‍රෙනේඩාහිදී බදාදා (පෙබරවාරි 27) පැවති එක්දින ක්‍රිකට් තරගය ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ සුවිශේෂී තරගයක් බවට පත් විය.

එක් ඉනිමක වැඩි ම 6 පහර

එහිදී එංගලන්ත කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවමින් එක්දින තරගයක එක් ඉනිමකදී වැඩි ම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායම බවට පත් විය.

ඉහත කී වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඔවුන් හයේ පහර 23ක් එල්ල කරමින් එංගලන්තයට එරෙහිව එම වාර්තාව පිහිටවූයේ ද, මෙම තරගාවලියේ ම පළමු එක්දින තරගයේදී වීම විශේෂත්වයකි.

දෙරට අතර බදාදා පැවති සිව් වන එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම 6 පහර 24ක් එල්ල කරමින් එම වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

ඉන් 6 පහර 12ක් එල්ල කරනු ලැබුවේ, පන්දු 77කදී ලකුණු 150ක් රැස් කළ එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ය.

එක් තරගයක වැඩි ම 6 පහර

ඊට අමතරව මෙම තරගයේ තවත් සුවිශේෂී සිද්ධියක් වූයේ, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් තරගයකදී කණ්ඩායම් දෙක ම එල්ල කළ වැඩි ම 6 පහර සංඛ්‍යාව වාර්තා වීමයි.

එහිදී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද 6 පහර 22ක් එල්ල කළ අතර තරගයේදී කණ්ඩායම් දෙක ම එල්ල කළ මුළු 6 පහර සංඛ්‍යාව 46ක් විය. එය එක්දින තරගයක වාර්තා වූ වැඩි ම 6 පහර සංඛ්‍යාවයි.

කොදෙව් කණ්ඩායමේ 6 පහර 22න් 14ක් එල්ල කරනු ලැබුවේ, පන්දු 97කදී ලකුණු 162ක් රැස් කළ ක්‍රිස් ගේල් විසිනි.

මෙම තරගයේදී කණ්ඩායම් දෙක ම හතරේ පහර 64ක් එල්ල කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.

ක්‍රිස් ගේල් එක්දින ලකුණු 10000 පසු කරයි

මෙම තරගයේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ, කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් ලකුණු 10000 (දස දහසේ) සීමාව පසු කිරීමයි. ඔහු බදාදා සිය 288 වන එක්දින තරගයට සහභාගි වූ අතර මේ වන විට ඔහු රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 10074කි.

බ්‍රයන් ලාරාට පසුව එක්දින ලකුණු 10000 සීමාව පසු කළ එක ම කොදෙව් පිතිකරුවා ක්‍රිස් ගේල්ය. ක්‍රිස් ගේල් එම තරගයේදී රැස් කළ ලකුණු 162 ඔහු ඉනිමකදී රැස් කළ දෙවන වැඩි ම ලකුණු සංඛ්‍යාවයි.

තරගයේ තොරතුරු

බදාදා දෙරට අතර පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 418ක් රැස් කළේය. එහිදී එංගලන්තය අවසන් පන්දු වාර 10 තුළදී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය.

කණ්ඩායම් දෙක ම එහිදී ලකුණු 807ක් රැස් කළ අතර එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක් තරගයක වාර්තා වූ තෙවන වැඩි ම ලකුණු සංඛ්‍යාව වේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්

එක්දින වාර්තා අතර අවස්ථා හතරකදී එංගලන්ත කණ්ඩායම ලකුණු 400 සීමාව ඉක්මවා ඇති අතර ඉනිමකදී වාර්තා කළ වැඩි ම ලකුණු ලැයිස්තුවේ පළමු (481/6) සහ දෙවන (444/3) ස්ථාන හිමි කරගෙන සිටින්නේ ද එංගලන්ත කණ්ඩායමයි.

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මේ දක්වා පන්දු වාරයකදී වැඩි ම ලකුණු සාමාන්‍යයක් (6.27) පවත්වාගෙන ඇත්තේ ද එංගලන්තයයි.

එංගලන්ත කණ්ඩායම මේ වන විට අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අංක 1 ස්ථානය දිනා සිටී.