ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ "අභ්‍යන්තර අර්බුද විසඳීමට ඉක්මනින්ම පියවර ගන්නවා "

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය පරාජයෙන් අනතුරුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය පරාජයෙන් අනතුරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මතුව ඇති අභ්‍යන්තර අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියාවේ සිට බිබිසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුවේ තමන් පෙබරවාරි 09 වෙනිදා එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම්වල නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ හිටපු නායකයෙකු වන තිසර පෙරේරා හමුවන බවය.

"මම ඒ තුන්දෙනා එකම මේසයකදී හමුවෙනවා. අපේ අරමුණ මේ අර්බුදය විසඳීමයි", ඇමතිවරයා තවදුරටත් පැවසිය.

ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය ජනවාරි 30 වෙනිදා කොළඹදී මාලිංග හා මැතිව්ස් සමග වෙන වෙනම සාකච්ඡා පවත්වන ලද්දේ කණ්ඩායම තුළ අර්බුද තිබෙන බවට වාර්තා පළවීමත් සමගය.

එය වඩාත් උත්සන්න වුයේ ශ්‍රී ලංකා පිළේ පසුගිය නවසීලන්ත සංචාරය අතරතුර ලසිත් මාලිංගගේ සහ තිසර පෙරේරාගේ බිරින්දෑවරුන් අතර සමාජ ජාල තුළ සිදු වූ බව පැවසෙන මත ගැටුමෙන් අනතුරුවය.

හරීන්

ඡායාරූප මූලාශ්‍රය, Matt Clinch/Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිති හරඹය ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය පරාජයවීමට හේතුවූ බව නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සඳුදා (පෙබරවාරි 04) පැවති දෙවන සහ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුයේ ලකුණු 366 කිනි.

තරගය පැවැත්වුණේ කැන්බරා හි මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජයවූ තෙවන ටෙස්ට් තරගාවලිය මෙයය.

මීට පෙර පැවති නවසීලන්ත සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වූහ.

"අපි මීට වඩා මහන්සිවෙලා වැඩකරන්න ඕනේ. කොහොමත් ඔස්ට්‍රේලියාවට ශක්තිමත් පන්දුයවන බලඇණියක් සිටිනවා. මෙහෙ පැමිණීමට පෙර එය අපි දැනගෙන සිටියේ", තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් චන්දිමාල් පැවසීය.

මේ අතර එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළ නම් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිට කෙළින්ම දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 2ක් එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග 2ක් පැවැත්වීමට නියමිතය.

දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගය පෙබරවාරි 13 සිට 17 දක්වා පැවැත්වෙනු ඇත.