ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සහාය ඉන්දියාවට හිමිවූ රාත්‍රියක්
ආර්. ප්‍රේමදාස පිටියේ සිටි විසිදහසකට වැඩි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් අවසන් පන්දුවේ ලකුණු 6 ක් ලබාගනිමින් ඉන්දියාව නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ජයගැනීමට සමත්විය.
ඉන්දියාව හා බංග්ලාදේශය සමග පැවති මෙම අවසන් තරගයේ බංග්ලාදේශයෙන් පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන් පිරිසක් හැරෙන්නට මුළු ක්‍රීඩාංගනයේම දක්නට ලැබුනේ ඉන්දියානු ධජ රැගත් ශ්‍රී ලාංකිකයන් බහුතරයකි.
විශේෂයෙන්ම සිකුරාදා පැවති තීරණාත්මක තරගයේ බංග්ලාදේශ ක්‍රීඩකයන් ආවේගශීලී ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීමත්, බහින් බස්වීම් කිහිපයක්ම සිදුවීමත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉන්දියාවට සහාය දීමට හේතුවී තිබුණි.
බංග්ලාදේශ කණ්ඩායමේ නායකය සකිබ් අල් හසන් සිකුරාදා තරගයේදී "ක්‍රීඩාවේ ජීව ගුණය" උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු බව පවසමින්, ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට තරග මුදලින් 25% ක දඩ මුදලක් පැනවිය. ඊට අමතරව ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා සමග ඇතිවූ බහින්බස් වීමට වරදකරුවූ බංග්ලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හසන් "ක්‍රීඩාව අපකීර්තියට ලක් කිරීම" සම්බන්ධයෙන් වැරදිකරු වීම නිසා ඔහුටද 25% ක දඩ මුදලක් පැනවීය.
ඊට අමතරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විවේකාගාරයේ දොරටුව ද බංග්ලාදේශ ක්‍රීඩකයකු අතින් බිඳී ගොස් තිබු අතර නිසි ලෙස සාක්ෂි නොමැතිවීම නිසා එයට කිසිදු දඬුවමක් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පනවා නොතිබුණි.
පසුව මෙම සිදුවීම් ගැන බංග්ලාදේශ ක්‍රීඩක පාලක මණ්ඩලය ශ්‍රී ලංකාව වෙත සිය කණගාටුවද පළකර තිබුණි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නොමැති තරගයකට ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගිත්වය අඩු ඇල් මැරුණු ස්වරුපයක් ගන්නා නමුත්, ඒ සියල්ල වෙනස් කරමින් බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවති අවසන් තරගය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.
ක්‍රීඩාංගනයේ ආහාර පානවලද දැඩි හිඟයක් පැවති අතර "අපි කෑම ගෙනාවේ කළින් ඉන්දියාව බංග්ලාදේශය අතර තරගයට ආ පිරිස අනුමාන කරලා, නමුත් ලංකාවේ තරගයක් වගේ පිරිසක් ආපු නිසා අපිට ඒ ඉල්ලුම සපයන්න බැරිවුනා" යනුවෙන් ආහාර සපයන්නෝ පැවසූහ.
"කමෝන් ඉන්දියා, කමොත් රෝහිත්" ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ගෙන් හඬ මුළු ක්‍රීඩාංගනයේම නැගෙන්නට විය. මේ ආර්. ප්‍රේමදාස පිටියමදැයි තමන්ට සැකයක් ඇතිවූ බව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් තරගය අවසන්වූ පසු පැවසුවේ සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාංගනයේ ඔවුන්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් සහය කිසි දිනක ලැබී නොතිබූ හේතුවෙන් විය හැකිය.
බංග්ලාදේශ් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ගෙන් නිතරම පාහේ 'හූ හඬ' එල්ලවූ අතර ඔවුන් ක්‍රීඩා ලෝලීන් දෙස බලද්දී ඔවුන් පසුගිය තරගය ජයගත් විට නිරූපනය කළ 'නයි නැටුම' නැටීමට ක්‍රීඩාලෝලීන් උත්සුක විය.
"මම දන්න තරමටම මෙහෙම තරගයක් මිට කලින් ලංකාවේ තිබිලා නැහැ. මුළු ක්‍රීඩාංගනයම ඉන්දියාවට සහය දුන්නා, සාමාන්‍යයෙන් වෙන රටවල් දෙකක් ලංකාවේ ක්‍රීඩා කරද්දී අපේ ක්‍රීඩා ලෝලීන් දෙපැත්තටම සහය දුන්නා. නමුත් මේක විශේෂ අවස්ථාවක්" ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතාන ඊයේ තරගය ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.
මෙයට සමාන අවස්ථාවක් 1996 ලෝක කුසලාන අවසන් තරගයේදී ලහෝර් ක්‍රීඩාංගනයේදී දුටු බවත්, එහිදී සමස්ත පකිස්ථාන ක්‍රීඩා ලෝලින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ බවත් රංජන් පරණවිතාන වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දීය කණඩායමේ නායක රෝහිත් ශර්මාද කිහිපවරක්ම ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පලකළ අතර ඉදිරියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනවිට තමන්ට මෙවැනි සහයක් නොලැබෙන බව තමන්ට වැටහෙන බව ඔහු පැවසිය.
ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියානු ක්‍රීඩා ලෝලියෙක් ඔසවාගෙන සිටින ඡායාරුපයක් සිය ට්විටර් අඩවියේ පළකරමින් ඉන්දීය නායකයා පවසන්නේ එම ඡායාරුපය ඉතා විශේෂ එකක් බවය.
ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් පසුගිය වසර කීපයේ ඉන්දීය පිලට එතරම් කැමැත්තක් පළ නොකළත්, පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගයමින් පළකළ ඡායාරුප හා ඔහුගේ විවාහ මංගල්‍යයට ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලියෙක්ට ඇරයුම් කිරීම වැනි සිදුවීම් සමග වෙනස්වී තිබේ.
සබැඳි පුවත්: