ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිත්ත වෙනුවට පන්දුව: පියා ගත් මග යන කනිෂ්ඨ තෙන්ඩුල්කාර්
එදා මෙදා තුර ඉන්දියාව බිහි කළ ජනප්‍රියම සහ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුතු සිය පියා ගත් මග ගැනීම අහම්බයක් විය නොහැකිය.
එහෙත් සම්පූර්ණයෙන්ම පියා ගිය මග අනුගමනය නොකිරීමට මේ පුතු අදිටන් කරගෙන සිටියි.
ඔහු අර්ජුන් තෙන්ඩුල්කාර් නම් වෙයි.
ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ සහ එක් දින තරග ක්ෂේත්‍රයේ එදා මෙදා තුර රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 34,357ක් හඹා යාම සචින් තෙන්ඩුල්කාර්ගේම පුතණුවන්ට වුව පහසු කාර්යයක් විය නොහැකිය.
එබැවින් පිත්ත අතට ගනු වෙනුවට ඔහු පන්දුව තෝරා ගත්තේය.
ක්‍රීඩාවකට වඩා ආගමක් තරම් භක්තියකින් ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් "අදහන" ඉන්දියාව වැනි රටක සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු පිටියට පිවිසීමත් සමග ක්‍රීඩාලෝලීහු ඔහු දෙස උනන්දුවෙන් බලා සිටිති.
එහෙත් 18 හැවිරිදි අර්ජුන් පන්දුව අතට ගන්නේ "සචින්ගේ පුතු" ලෙසින් නොව තමන්ගේම වූ ශෛලියක් ශෛලියක් ගොඩ නගා ගැනීමේ අටියෙනි.
සිය පියාට වඩා කෙසඟ සහ උසින් වැඩි අර්ජුන් පවසන්නේ "සචින්ගේ පුතු" වීමේ පීඩනය ගැන පිටියේදී තමන් කිසිවක් නොසිතන බවය.
බීබීසීයේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් පන්දු යවන්නෙකු බවට පත්වීම, පියාගේ පිතිහරඹයේ දක්ෂතාව සලකා බලා සැලසුම් සහගතව ගත් තීන්දුවක් නොවන බවය.
"මම තාත්තට වඩා උස ගියා, ශක්තිමත් වුනා," ඔහු පැහැදිළි කරයි.
"අනික පොඩි කාලේ ඉඳල මම පන්දු යවන්න ආසයි. ඉතින් ඉන්දියාවේ වේග පන්දු යවන්නනුත් අඩු නිසා මම හිතුව වේග පන්දු යවන්නෙක් වෙන්න."
වමතින් වේග පන්දු යවන්නෙක්. එමෙන්ම වමත් පිතිකරුවෙක්.
එබැවින් ඔහුගේ පියා සමග සංසන්දනය කරනු වෙනුවට, අනාගතයේදී ක්‍රිකට් ලෝලීන්ට සිදුවනු ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් සහ මිචෙල් සටාර්ක් වැනි ක්‍රීඩකයන් සමග තරුණ අර්ජුන් සංසන්දනය කිරීමටය.
පන්දු යවන්නෙකු ලෙසින් පමණක් නොව පිතිකරුවෙකු ලෙසින් ද ඔහු දැනටමත් ජාත්‍යන්තර තලයේ පෙළහර පා තිබේ.
"පොඩි කාලේ මම පාපන්දු, පිහිනුම්, ටයිකොන්ඩෝ, මළල ක්‍රීඩා වගේ හැම ක්‍රීඩාවක්ම කළා," අර්ජුන් තෙන්ඩුල්කාර් මතකය අවදි කරයි.
"ඒ අතරේ ක්‍රිකට් ක්‍රීඩාවට ආවම, අනෙක් හැම දේම පස්සට ගියා."
එසේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ පියාගේ බලපෑම නිසා ද?
"තාත්ත මට හුඟක් උදව් කළා. ඒත් කවදාවත් ක්‍රිකට් ගහන්න කියල මට බල කළේ නැහැ."
තවත් කියවන්න: