ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එංගලන්තයට ක්‍රිකට් ගහන ශ්‍රී ලංකාවේ සවින්
නවසීලන්තයේ දැන් පැවැත්වෙන වයස අවුරුදු දහ නවයෙන් (19) පහළ ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩකයා කෙරෙහි ක්‍රීඩා ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.
එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට බසින ඔහු නමින් සවින් පෙරේරා වෙයි.
කොළඹදී උපත ලද සවින් පෙරේරා වයස අවුරුදු දහ තුනේදී (13) එක්සත් රාජධානියේ පදිංචිය තෝරා ගත් අතර එහිදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු දහ නවයෙන් (19) පහළ එංගලන්ත කණ්ඩායමට තෝරා ගෙන ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) වෙබ් අඩවිය වාර්තා කරන පරිදි සවින් පෙරේරා, මෙයින් වසර හයකට ට පෙර තම මව සහ සහෝදරයා සමග එංගලන්තයේ ස්ථිර පදිංචියට යන්නේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමේ අරමුණ ඇතිවය.
සිය පියා ඒවනවිට එංගලන්තයේ රැකියාවක නිරත වෙමින් සිටි බව සවින් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට පවසා ඇත.
අනාගතයේ දිනක ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලදහොත් තමාට සිංහල භාෂාව හොඳින් තේරෙන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා පන්දු යවන්නට හා පන්දු රකින්නට දෙන උපදෙස් තේරුම් ගැනීමට හැකියාවක් ඇති බව සවින් පෙරේරා පවසන්නේ සිනාමුසුවයි.
තම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර යයි පවසන සවින් පෙරේරා අවුරුදු 19න් පහළ ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට උපරිම උත්සාහය ගන්නා බවත් කියා සිටියි.
සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වන යොවුන් ක්‍රීඩක සවින් පෙරේරා ,එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කොට අනතුරුව එංගලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තම අරමුණ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වෙබ් අඩවියට පවසා ඇත.
ඔහු දැනටමත් එංගලන්තයේ 'මිඩ්ල්සෙක්ස්' ප්‍රාන්ත කණ්ඩායමේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කරයි.
ශ්‍රී ලංකික ක්‍රීඩකයන් මින් පෙර කැනඩාව, එක්සත් එමීර් රාජ්‍ය වැනි කණ්ඩායම් නියෝජනය කර ඇතත්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් එංගලන්තය වැනි ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් නියෝජනය කරන ප්‍රථම අවස්ථාව බොහෝ දුරට මෙය වියහැකි බවත් පැවසෙයි.
සබැඳි පුවත්;