ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයට දුමාරයෙන් බාධා

ඡායාරූප මූලාශ්‍රය, SkySports
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි නුවර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට අවට පවතින දුමාරයෙන් බාධා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමත් සමග තරගය අත්හිටුවීමට බලධාරීහු කටයුතු කළහ.
වායු දූෂණය හේතුවෙන් සති ගණනනාවක සිට දිල්ලි අගනුවර ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.
එක් අවස්ථාවක දී පිටිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස දෙනෙකු පමණක් දැකිය හැකි වූ අතර ඉන් වැඩි දෙනෙක් මුඛවාඩම් පැළඳ සිටියහ.
ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් තරගයේ පසු භාගයේ දී පිටියෙන් ඉවත් විය.
ඒ අනුව අවස්ථා තුනක දී තරගය නතර කිරීමට බලධාරීහු කටයුතු කළහ.
එක් අවස්ථාවක දී තරගය නැවත ආරම්භ කිරීමට පෙර විනිසුරුවරුන් විසින් වෛද්‍යවරුන්ගේ සහ භෞතචික්තිසකයන්ගේ අදහස් විමසනු ලැබීය.
සමාජ ජාල ප්‍රතිචාරය
ක්‍රීඩකයන් මුඛවාඩම් පැළඳ ක්‍රීඩා කිරීම ඉන්දීය මාධ්‍ය විසින් විග්‍රහ කරනු ලැබ තිබුණේ පෙර නොදුටුවිරූ ක්‍රියාවක් ලෙසය.
සමාජ ජාල තුළ ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළවන අතර සෞඛ්‍ය සම්බන්ධයෙන් බරපතල මට්ටමේ අනතුරුදායක තත්ත්වයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊට විරෝධය පළ කිරීම යුක්තිසහගත බව ඇතැමුන්ගේ මතය වී තිබේ.
තවත් සමහරෙක් පවසා තිබුණේ තරගය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වාසිසහගත තත්ත්වයක් නොතිබූ බැවින් ඔවුන් එසේ ක්‍රියා කළ බවය.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 07 දැවී ලකුණු 536 රැස් කිරීමට සමත් වූ අතර නායක විරාත් කෝලි එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 243 කි.
තේ පැන් සංග්‍රහය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුළු 02 දැවී ලකුණු 18 රැස් කර තිබිණි.
ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුතම පරාජය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පසුගියදා පැවති දෙවෙනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239 පරාජය විය.
සබැඳි යොමු:









