පාපන්දු: ඉතාලිය ලෝක කුසලානයෙන් විසි වෙයි

සිව් වතාවක්ම ජගත් පාපන්දු කුසලානය දිනා ගත් ලොව ඉහළම පෙළේ පාපන්දු කණ්ඩායමක් වන ඉතාලිය 1958න් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

ඉතාලියට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වූයේ ස්වීඩනය සමග පැවති තරගයෙන් පරාජයවීම හේතුවෙනි.

තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගම 2006න් පසුව ප්‍රථම වතාවට ස්වීඩනය ලෝක පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලැබුවේය.

ඉතාලිය පාපන්දු ලෝක කුසලානයට සහභාගි නොවෙන්නේ එරට පාපන්දු ඉතිහාසයේ දෙවැනි වතාවටය; 1930 දී පැවති පළමු ලෝක කුසලානයට සහභාගි නොවීමට ඉතාලිය තීන්දු කළේය.

ස්වීඩනය සමග තරගය අවසාන වීමේ විසිල් නාදයත් සමගම ඉතාලි කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම පාහේ බිම අද වැටුණු අතර, Andrea Belotti සහ Immobile ක්‍රීඩකයන් කඳුළු සලන ආකාරය ද දකින්නට ලැබුණි.

ඒ සමගම ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ස්වීඩන කණ්ඩායම ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරූහ.

ඉතාලියේ ප්‍රකාශයට පත්වන Gazzetta dello Sport පුවත්පත කණ්ඩායමේ පරාජය වාර්තා කර තිබුණේ "හෙළිදරවුව" යන අරුත දෙන ශීර්ෂ පාඨයක් යොදමිනි.

සිය 175 වෙනි ජාත්‍යන්තර තරගයට සහභාගි වූ කණ්ඩායමේ නායක 39 හැවිරිදි Gianluigi Buffon, එය සිය අවසාන ජාත්‍යන්තර තරගය බව තහවුරු කළේය.

තරගය නිමාවීමත් සමග කඳුළු අතරින් අදහස් දැක්වූ කණ්ඩායමේ ගෝල් රකින්නා ද වන නායක Gianluigi Buffon, "මට කනගාටුවක් මා ගැන නොවෙයි, ඉතාලියේ පාපන්දු ක්‍රීඩාව ගැන" යනුවෙන් සඳහන් කළේය.

"ක්‍රීඩාවේ විතරක් නෙවෙයි, අපි මුළු සමාජයේම අපේක්ෂා බිඳ දැමුවා."

සබැඳි යොමු: