රෝස පැහැති පන්දුව සහ ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (ඔක් 06) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

එම තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගයයි.

සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රතු පැහැති පන්දු යොදා ගත්ත ද දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා භාවිත කරනු ලබන්නේ රෝස පැහැති පන්දුය.

ඊට හේතුව රාත්‍රි කාලයේ රතු පන්දුව නිසි ලෙස දර්ශනය නොවීමයි.

ඒ සඳහා සුදු පැහැති පන්දු යොදා ගනු නොලබන්නේ ටෙස්ට් ක්‍රීඩකයන්ගේ ඇඳුම ද සුදු පැහැති වන බැවිනි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග හඳුන්වා දුන් අතර 2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව දැන් සහභාගි වන්නේ ලෝකයේ 6 වැනි දිවා රාත්‍රි ටෙස්ට් තරගයට වන අතර පාකිස්තානය පසුගිය වසරේ සිය ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගයට සහභාගී විය.

ඩුබායිහිදීම පැවති එම තරගයෙන් පාකිස්තානය ලකුණු 56 ජයක් ලැබීය.

රෝස පන්දුව වෙනස්

සාමාන්‍ය රතු පන්දුවට වඩා රෝස පැහැති පන්දුව වේග පන්දු යවන්නට වාසි දායක බවටත් රාත්‍රි කාලයේ පන්දුව දෝලනය විය හැකි බවටත් මතයක් තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රි රෝස පන්දු පුහුණු සැසියෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද කියා සිටියේ වේග පන්දු යවන්නට වැඩි වාසියක් ඇති ආකාරයක් එහි පෙනෙන්නට තිබෙන බවය.

"ලොකු අත්දැකීමක් වෙයි මේක අපේ කණ්ඩායමට. මොකද අපේ ක්‍රීඩකයන් රෝස පන්දුවෙන් දිවා රාත්‍රි තරග ක්‍රීඩා කරලා නැහැ" යනුවෙන් ඔහු සඳහන් කළේය.

"වේග පන්දු යවන්නට වාසි දායක වෙයි. දඟ පන්දු යවන්නට එච්චර දඟ කැවීමක් තිබුණේ නැහැ. එමගින් පිතිකරුවන්ට වාසි වේවි" යනුවෙන් දිනේෂ් චන්දිමාල් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

රංගන හේරත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඊට සමාන අදහසක් පළ කරමින් කියා සිටියේ රෝස පැහැති පන්දුව වේග පන්දු යවන්නට වාසි දායක වනු ඇති පෙනෙන්නට ඇති බවය.

"අපි මීට කලින් එක්දින තරග විතරයි රාත්‍රියේ ක්‍රීඩා කරලා තියෙන්නේ. මේක හොඳ අත්දැකීමක් වෙයි" යනුවෙන් ඔහු බීබීසි සිංහල සේවයට පැවසිය.

ඩුබායිහිදී පැවැත්වීමට නියමිත දිවා රාත්‍රි ටෙස්ට් තරගය එරට වේලාවෙන් සවස 03.00 ආරම්භ වන අතර රාත්‍රි ආහාර විවේකය පස්වරු 05.00 ලබාගැනීමට නියමිතය.

සබැඳි යොමු: