ඇන්ජලෝ යළි කැඳවයි, මාලිංග දිගටම IPL

ඡායාරූප මූලාශ්‍රය, AP
ලබන මැයි මස 09 වෙනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන්, IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග වදිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව නිවේදනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, කෙසේ නමුත් වේග පන්දු යවන ලසිත් මාලිංගට තවදුරටත් IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බවද පැවසීය.
"මාලිංග ක්‍රම ක්‍රමයෙන් අපි ඕවර හය, අට දාන්න වැඩසටහනක් සකස් කරලා තියෙනව. ඉතින් ඒකෙ ඔහු IPL තරගාවලියේ ඉන්න එක අපිට වාසියක් කියලයි අපි හිතන්නේ මොකද එයා උණුසුම් තරගවල ඉන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලසිත් මාලිංග තවමත් තරගයක් ඇතුලත ඕවර 10 ක් යැවීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක නොසිටින නමුත්, එළැඹෙන චැම්පියන්ස් කුසලානය (Champions Trophy) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම ඔහුගේ අභිලාශය බවත් තිලංග සුමතිපාල පැවසීය.
ඒ සඳහා පුහුණුවීම පිණිස අසේල ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එංගලන්තයේ පැවැත්වෙන Champions Trophy වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම පිණිස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු වග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.





