බ්‍රිතාන්‍යයේ ගුවන් යානා ප්‍රවාහක යෝධ නෞකා

    News imageNews imageNews image
    ලොව පළමු වරට ගුවන් යානා ප්‍රවාහනය සඳහා ම වෙන්වූ නැව් තැනීමේ කටයුතු එක්සත් රාජධානිය ඇරඹුවේ මීට සියවසකට පෙරදී ය.

    ඉතා නුදුරේදී නවතම HMS Queen Elizabeth යෝධ නැව මතින් යානා ගුවන්ගත වෙනු ඇත. ඇය මෙන්ම ඇගේ සොයුරිය වන HMS Prince of Wales නෞකාව මෙතෙක් රාජකීය නාවික හමුදාව සඳහා තනන ලද විශාලතම යුද නෞකා වනු ඇත.
    News image
    ඒවා ගෝලීය අපේක්ෂා සහ අරමුණුවල ප්‍රකාශනයක් බව නාවික හමුදාව මෙන්ම ආණ්ඩුව ද විශ්වාස කරති. එහෙත් එක්සත් රාජධානිය අත්වැරැද්දක් කරගත්තේදැයි ඇතැම් විවේචකයෝ කල්පනා කරති.
    News image

    දැවැන්ත නෞකා

    News image

    බ්‍රිතාන්‍යයේ අලුත් ම ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක බ්‍රිතාන්‍ය ඉංජිනේරු තාක්ෂණයේ අසාමාන්‍ය නිර්මාණ ලෙස සැළකේ. ඒ මතට ගොඩවූ විට එහි දැවැන්තබව ගැන සිත් අලවානොගැනීම අපහසු ය.

    එහි ඇතුළත ගමන් ගැනීමට ඇති පටු මං පැරණි ඇමෙරිකානු නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවල තිබෙන ඒවාට වඩා පුළුල් ය, වඩා ඉඩකඩ සහිතය. එහි දෙවස්ථානයකි, රෝහලක් හා 700 ට වැඩි කාර්ය මණ්ඩලයක කුස ගිනි නිවීමට තරම් ප්‍රමාණවත් මුළුතැන්ගේ පහකින් ද සමන්විත ය.

    ගුවන් යානාවල කාර්ය මණ්ඩල, ඉංජිනේරුවන් හා රාජකීය මරීන් භටයින් ද එක් වූ විට මේ ප්‍රමාණය 1,600ක් දක්වා ඉහළ නගිනු ඇත. කාර්ය මණ්ඩලවලින් පිරීගිය පසුව ද නැව තවත් ඕනෑ තරම් ඉඩකඩ තිබේ. බොහෝ යුද නැව්වල මෙන් තදබදයෙන් යුතු වූවාක් මෙන් නොව මෙහි නිදන කුටි බොහෝ ඉඩකඩ සහිතය.

    සිය දෛනික රාජකාරී දිනයකදී සාමාන්‍යයෙන් සැතපුම් අටක (කි.මී.13) තරම් දුරක් ඇවිදීමින් පියවර 20,000 ට ආසන්න ප්‍රමාණයක් තැබීමට සිදුවිය හැකි වුවත්, කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කැලරි දහනය වෙනුවෙන් ශාරීරික ව්‍යායාම සඳහා ස්ථාන පහක් ඇත.

    ටොන් 65,000 ක් බර එච්එම්එස් ක්වීන් එලිසබෙත් (HMS Queen Elizabeth) නෞකාව දිගින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රමාණය ඉක්මවන අතර නැවේ පතුලේ සිට එහි ඉහළම මුදුනට ඇති උස ලන්ඩනයේ නෙල්සන් කුළුණට වඩා ඉහළ ය. නෞකාවේ ගුවන් යානා හසුරුවන අංගනය පාපන්දු පිටි තුනකට ගැලපේ.

    අලුත් එෆ්-35 ස්ටෙල්ත් ජෙට් යානා 36ක් සහ හෙලිකොප්ටර ගෙන යාමේ හැකියාව ඇය සතුය. නමුත් ඇත්තෙන් ම ඇය යාත්‍රා කරනුයේ එකී යානා ප්‍රමාණයට වඩා අඩකටත් අඩු සංඛ්‍යාවක් සහිතව ය.

    එළඹෙන ශරත් ඍතුවේදී ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේ දී පළමු වරට පරීක්ෂණ ගුවන් ගමන් සඳහා මේ නෞකාවේ සිට ජෙට් යානා ගුවන්ගත කෙරෙනු ඇත. එසේම සිය පළමු "මෙහෙයුම් සැරිය" සඳහා 2021 වසරේදී ඇය යාත්‍රා කිරීම අරඹන්නීය.

    HMS Queen Elizabeth බැලූ බැල්මට කුඩා නගරයක් මෙනි. ඇය සතු එන්ජින් නිවාස දස දහස් ගණනක් සඳහා බලය සැපයීමට සමත් ය.

    ඇය මෙන් ම ඇගේ සොයුරිය HMS Prince of Wales නිමැවීමේදී එක්සත් ජනපද නාවික හමුදාවේ ඒ හා සමාන නැව්වල ආභාසය ලබන්නට ඇති වුවත්, මෙම නිර්මාණ අතිශයින් ම බ්‍රිතාන්‍යයට ආවේනික ය.

    2013: ක්වීන් එලිසබෙත් නෞකාවේ ඉදිරිපස පාලන මධ්‍යස්ථානය පෝර්ට්ස්මත් වරායේ සිට ප්‍රවාහනය කෙරුණු අවස්ථාව


    2013: ක්වීන් එලිසබෙත් නෞකාවේ ඉදිරිපස පාලන මධ්‍යස්ථානය පෝර්ට්ස්මත් වරායේ සිට ප්‍රවාහනය කෙරුණු අවස්ථාව

    ග්ලාස්ගෝ, හෙබර්න්, ටයින් ගඟබඩ, ඇපල්ඩොර්, උතුරු ඩෙවොන්, පෝර්ට්ස්මත් සහ බර්කන්හෙඩ් වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ ගණනක ඇති නැව් තැනීම්පොළවල ඉදි කෙරුණු නෞකාවේ කොටස් ස්කොට්ලන්තයේ රෝසිත් වෙත ජල මාර්ගයෙන් ප්‍රවාහනය කොට එහිදී වෑද්දුම්කොට එකලස් කෙරිණි.

    මේ කාර්යය බෙදාහදා ගැනීම දේශපාලනික මෙන්ම ප්‍රායෝගික තීරණයක් විය. 2009 වසරේ ඉදිකිරීම ඇරඹුණු අවස්ථාවේදී විශාල වියළි තටාකාංගනයක් සහිත රෝසිත් ප්‍රධාන එකලස් කිරීමේ වැඩබිම ලෙස තෝරා ගැනිණි.

    වෙනත් ගුවන් යානා ප්‍රවාහක නෞකා මෙන් නොව, ක්වීන් එලිසබෙත් පන්තිය "Islands" (දුපත්) නොඑසේනම් පාලක කුළුණු දෙකකින් සමන්විතය.

    ඉදිරියේ ඇති කුළුණ නැව හැසිරවීම සඳහා වන අතර ඊට පසු පස ඇති කුළුණ ගුවන් ගමන් පාලනය (Flyco - flight-control) සඳහා ය. එම කුළුණු මත ඇති කුටිවල බිම සිට සිවිලිම දක්වා වූ මුළු කොටසම වසාගන්නා වීදුරු ජනේලවලින් නැව් තට්ටුව සිසාරා නිරීක්ෂණය කිරීමේ පහසුව කාර්ය මණ්ඩලයට සැපයේ.

    News image

    මෙවැනි කුළුණු දෙකක් තිබීම හේතුවෙන් එක් කුළුණකට හානියක් සිදුවුවහොත් හෝ විනාශ වුවහොත් නැවේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇති බව රාජකීය නාවික හමුදාවේ තර්කය වේ.

    නමුත් මීට අමතර හේතුවකි. මේ කුළුණු නිසා නැවේ දුම් නල ආවරණය කෙරේ.

    ඇමෙරිකානු හා ප්‍රංශ ගුවන් ප්‍රවාහක නෞකා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන අතර ක්වීන් එලිසබෙත් නෞකාව හා ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාව විශාල ගෑස් ටර්බයින් දෙකකින් හා ඩීසල් එන්ජින් හතරකින් බලගැන්වේ.

    ඒවාට නිතර ඉන්ධන සැපයිය යුතුය. මේ කාර්යය සඳහා අලුත් ඉන්ධන සැපයුම් නෞකා හතරක් ද ඇණවුම් කර ඇති අතර ඒවා නිපදවන්නේ එක්සත් රාජධානිය තුළ නොව දකුණු කොරියාවේ නැව් තැනීම්පොළවල ය.

    මේවා තැනුවේ ඇයි ?

    1918: මුල් කාලීන බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන HMS Argus මතට Sopwith Camel ප්‍රහාරක යානයක් ගොඩබාන අයුරු

    News image

    සියවසක පමණ කාලයක් පුරා සිතිජ ඉමේ වූ දැවැන්ත මෙන්ම ආවේණික ස්වරූපයේ ගුවන් ප්‍රවාහක නෞකාවලින් යුද ශක්තියේ විසල් බව පෙන්විය.

    අර්බුදකාරී අවස්ථාවක ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු අසන පළමු ප්‍රශ්නය, "ළඟම ඇති ගුවන් යානා නෞකාව තිබෙන්නේ කොතැන ද?" යැයි පැවසේ.

    ගුවන් යානා ප්‍රවාහක නෞකා පිළිබඳ බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව වසර ගණනක් කළ අත්හදා බැලීම්වලින් අනතුරුව 1918 දී බ්‍රිතාන්‍යය HMS Argus නෞකාව දියත් කරනු ලැබීය. මගී ප්‍රවාහන නැවක් ලෙස මුලදී නිර්මාණය කෙරුණ ද ඉදිකෙරෙන අතරේ එය නැව් තට්ටුවේ මුළු දිග ම භාවිත කෙරුණු ලොව පළමු ගුවන් යානා ප්‍රවාහක නෞකාව වශයෙන් වෙනස් කෙරිණි.

    එම වසරේදී ම එක්සත් රාජධානිය විසින් ගුවන් යානා ප්‍රවාහනය සඳහා ම ඉදිකෙරෙන පළමු නෞකාව වූ එච්එම්එස් හර්මිස් (HMS Hermes) හි වැඩකටයුතු අරඹනු ලැබීය.

    ගුවන් යානා ප්‍රවාහනය සඳහා ම තනන ලද ලොව ප්‍රථම නෞකාව, එච්එම්එස් හර්මීස් (HMS Hermes)

    ගුවන් යානා ප්‍රවාහනය සඳහා ම තනන ලද ලොව ප්‍රථම නෞකාව, එච්එම්එස් හර්මීස් (HMS Hermes)

    දෙවෙනි ලෝක යුද්ධයෙන් අනතුරුව, මුහුදේ යාත්‍රාවක සිට ගුවන් යානයක් දියත් කිරීමේ ප්‍රමිතිගත ක්‍රමය බවට පත්වූ, වාෂ්ප බලයෙන් ක්‍රියාකරන කැටපෝලය - නව්‍ය අංගයක් ලෙස අත්හදා බැලීමට බ්‍රිතාන්‍යය පෙළඹිණි. බොහෝ අංශවලදී රාජකීය නාවික හමුදාව ලොව අනෙකුත් හමුදාවලට මග පෙන්වා ඇත.

    ගෝලීය වශයෙන් පැවති බ්‍රිතාන්‍ය බලපෑම හැකිලෙද්දී එහි නාවික හමුදාවට මෙන්ම එහි ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ප්‍රමාණයට ද එය එසේ ම විය. 1990 ගණන්වන විට රාජකීය නාවික හමුදාවට තිබූ කුඩා "සැහැල්ලු" ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනක් - එච්එම්එස් ඉන්විසින්බල් (HMS Invincible) , එච්එම්එස් ඉලස්ට්‍රස් (HMS Illustrious) හා එච්එම්එස් ආර්ක් රෝයල් (HMS Ark Royal) නම් විණි. නිරවි යුද සමයේදී (සීතල යුද සමය) රුසියානු සබ්මැරීන හඳුනාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා ප්‍රවාහනයට මූලික වශයෙන් මෙම නෞකා නිර්මාණය කෙරිණි.

    මෙවැනි හැකියාවක් පවත්වා ගැනීම ඉතා වැදගත් බව තහවුරු කෙරුණේ 1982 පැවති ෆෝක්ලන්ත යුද්ධයේදී ය. එවක, HMS Invincible හා පැරණි HMS Hermes යන නැව් දෙක දකුණු අත්ලාන්තික් සාගර ප්‍රදේශයට බ්‍රිතාන්‍යය විසින් යවනු ලැබිණි.

    එච්එම්එස් හර්මීස් (HMS Hermes-පසුව එනමින් නම් කෙරුණු නැව) 1982 ෆෝක්ලන්ත යුද්ධයේදී දකුණු අත්ලාන්තික් සාගරයේ

    එච්එම්එස් හර්මීස් (HMS Hermes-පසුව එනමින් නම් කෙරුණු නැව) 1982 ෆෝක්ලන්ත යුද්ධයේදී දකුණු අත්ලාන්තික් සාගරයේ

    මව් බිමෙන් සැතපුම් 8,000ක් ඈත අවදානමට ලක්ව සිටි හමුදාවලට ඉන් ගුවන් ආවරණය සැලසීය. මෙම නෞකා මෙන්ම හැරියර් ජෙට් යානාවලින් තොරව එම දූපත් යළි අත්පත් කරගත හැකි යැයි සිතුවේ නම් ඒ සුළු පිරිසකි.

    ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් යනු පාවෙන ස්වෛරී බලප්‍රදේශයක් මෙනි. න්‍යායිකව, එයට ලෝකයේ 70%ට වැඩි ප්‍රමාණයක එහා මෙහා යා හැකිය.

    එක්සත් රාජධානියේ ගුවන් ප්‍රවාහක`නෞකා ප්‍රහාරක සමූහයේ අණදෙන නිලධාරී කොමදෝරු ඇන්ඩි බෙට්න් පවසන්නේ, මේ නෞකාවලට ලොව ඕනෑම තැනක තවත් රටක අවසරයකින් තොරව "අර්ථාන්විත හා විශ්වාසදායී ප්‍රහාරක බලයක්" ක්‍රියාත්මක කළ හැකි බවය.

    සැහැල්ලු ගුවන් යානා ප්‍රවාහක නෞකාවල අවසන් නැව මෙන්ම එහි වූ හැරියර් ජම්ප් ජෙට් යානා කැබලි කෙරුණේ 2010 වසරේ ආරක්ෂක සමාලෝචනයට අනුව වියදම් අඩු කිරීමේ එක් අංගයක් ලෙසිනි. එය ප්‍රධාන වශයෙන් ම අයවැය තත්ත්වය පදනම්ව ගන්නා ලද තීරණයක් විය.

    ඉන්වින්සිබල් පන්තියේ නෞකාවක් වූ HMS Ark Royal, 2011 වසරේ දී සේවයෙන් ඉවත් කෙරිණි

    ඉන්වින්සිබල් පන්තියේ නෞකාවක් වූ HMS Ark Royal, 2011 වසරේ දී සේවයෙන් ඉවත් කෙරිණි

    HMS Queen Elizabeth සිය පළමු සේවා සැරිය සඳහා යාත්‍රා කරන කාලය වන විට බ්‍රිතාන්‍යය සතුව ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් නොතිබූ කාලය දශකයකට වැඩි වනු ඇත.

    නමුත් සත්‍යය නම් එවැන්නක් නොමැතිව සිටීමට එක්සත් රාජධානියට හැකි වී තිබීම ය.

    එම කාලයේදී ලොව පුරා විවිධ තැන්වල ගොඩ බිම සිට ගුවන් ප්‍රහාර දියත් කිරීමට බ්‍රිතාන්‍යයට හැකිවිණි. ඇෆ්ඝනිස්තානයට මෙන්ම 2011දී ලිබියාවට ද පහර දුණි. නොඑසේනම් මෑතකදී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ද ප්‍රහාර එල්ල කළේය. මධ්‍යධරනී මුහුද මැද බ්‍රිතාන්‍යයට දැනටමත් ස්ථිර ගුවන් හමුදා කඳවුරක් පවතී. ඒ සයිප්‍රසයේ අක්රෝටිරි හී ය.

    News image

    බ්‍රිතාන්‍යය ගුවන් ප්‍රවාහක නෞකාවකින් තොරවීම ඇතැමෙකුට, යුද මෙහෙයුම්වල දුර්වල හිඩැසකට වඩා ජාතික අභිමානයේ පලුද්දක් මෙන් විය.

    නමුත් එය සිය මිත්‍ර පාර්ශ්ව විසින් එක්සත් රාජධානිය කවර ආකාරයකින් තේරුම් ගනු ලබන්නේ ද යන්න කෙරෙහි නිශ්චිතව ම වෙනසක් ඇති කර තිබේ.

    ගුවන් යානා ප්‍රවාහක නෞකාවකින් තොරව බ්‍රිතාන්‍යයට සිය හමුදාමය හැකියාවේ "මුළු පරාසයම" සතු නොවන බැවින් එරට, ඇමෙරිකාවේ පූර්ණ හමුදාමය හවුල්කරුවකු ලෙස සිටින්නේ ද යන කරුණ අවදානමකට ලක්වන බව ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් 2014 දී පැවසීය.

    දකින ආකාරය වැදගත් වේ.

    ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් යනු අරමුණු සහ ගෝලීය අපේක්ෂාවල ප්‍රකාශනයක් සේ ම හමුදාමය ශක්තියේ ප්‍රක්ෂේපනයකි. ඇමෙරිකානු නාවික හමුදාව සතුව එවැනි නෞකා 10 ක් ඇත්තේ එබැවිනි. චීනයට ද එක් නෞකාවක් සතු අතර තවත් එකක් තනමින් පවතී. රුසියාව හා ප්‍රංශයට ද එක් නෞකාව බැගින් ඇති අතර ඉන්දියාව ද දැන් ඒ ගොන්නට එක්වෙමින් සිටී.

    චීනය තුළ පළමුවරට නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහක නෞකාව සිය ප්‍රථම අත්හදා බැලීමේ මුහුදු ගමනේ යෙදෙද්දී

    චීනය තුළ පළමුවරට නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහක නෞකාව සිය ප්‍රථම අත්හදා බැලීමේ මුහුදු ගමනේ යෙදෙද්දී

    මේ නව ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ආයෝජනයට එක්සත් රාජධානිය විසින් ගන්නා ලද තීරණය හමුදාමය වශයෙන් මෙන්ම දේශපාලනික වූ ද තීන්දුවකි.

    ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ නාවික විශ්ලේෂක නික් චයිල්ඩ් පවසන්නේ, අගමැති ටෝනි බ්ලෙයාර් ගේ ආණ්ඩුව 1998 දී මෙම ගුවන් යානා ප්‍රවාහක නෞකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම තීරණය කරන විට "එය ක්‍රමෝපායික හිනිමගේ ඉහළට නැගීම සඳහා චේතනාන්විතව ම ගන්නා ලද තීරණයක්" යනුවෙනි.

    රාජකීය නාවික හමුදාව විසින් අලුත් නෞකා දැනටමත් හඳුන්වනු ලබන්නේ "සම්ප්‍රදායික බාධකයක්" ලෙසිනි - ඒ ට්‍රයිඩන්ට් මිසයිල ගෙනයන වැන්ගාර්ඩ් පන්තියේ සබ්මැරීන හතරට සමාන කරමිනි.

    HMS Queen Elizabeth නෞකාවේ කපිතාන්ගේ වචනවලින් ම කිවහොත්, "මෙය බ්‍රිතාන්‍ය නාවික බලයේ සංකේතයක් බවට පත්වේවි".

    ලෝක සමුද්‍රීය බලවතුන්ගේ "ප්‍රමුඛ සමූහයට යළිත් වරක්" රාජකීය නාවික හමුදාව සහ බ්‍රිතාන්‍යය එක් කරන බව එහි කපිතාන්, කොමදෝරු ජෙරී කයිඩ් ඉතා පැහැදිලිව පුරෝකථනය කරයි.

    පිරිවැය

    News image

    හැකිලෙමින් ඇති රාජකීය නාවික හමුදාවේ හා කුඩා ආරක්ෂක අයවැයක ඇති අභියෝගාත්මක යථාර්ථය මත මේ අලුත් ගුවන් යානා ප්‍රවාහක නෞකා ඉදිකෙරිණි.

    එම නැව් දෙක ඉදිකිරීම සඳහා පවුම් බිලියන 6 ට වැඩි මුදලක් දරා ඇත. තවත් වසර 50 ක් පවතින ආකාරයට ඒවා නිපදවා ඇති බව ඉස්මතු කර පෙන්වීමට නාවික හමුදාව කැමැත්තක් දැක්වුවත් ඒ සඳහා මුලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා දෙගුණයක් පමණ වැය වී තිබේ.

    2010 දී එක්සත් රාජධානියේ පැවති අසතුටුදායක මුල්‍ය තත්ත්වය හමුවේ, සමස්ත වැඩපිළිවෙල හකුළා දැමීමට අගමැති ඩේවිඩ් කැමරන් ගේ හවුල් ආණ්ඩුව කල්පනා කළේය. එහෙත් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමේදී, එය ඉදිරියට ගෙන යාමේදී වැය වන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් දඩ වශයෙන් ගෙවීමට සිදුවන බව අමාත්‍යවරුන්ට වැටහිණි.

    එහිදී ඉන් එක් නෞකාවක් විකිණීම හෝ "භාවිතයට නොගෙන හොඳ තත්ත්වයෙන් තබාගැනීම" සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. කෙසේවෙතත්, අවසානයේදී මෙම යාත්‍රා දෙක ම සේවයට එක් කිරීමට තීරණය කෙරුණේ, රාජකීය නාවික හමුදාවේ දැනටමත් ඇති සීමිත සම්පත් උපරිමයට උපයෝගී කරමිනි.

    ඇමෙරිකාවේ නිපදවූ ලොක්හීඩ් මාටින් එෆ්-35බී ප්‍රහාරක යානා මෙම නෞකාවලින් ගුවන්ගත කෙරෙනු ඇත. ඉන් එකක මිල පවුම් මිලියන 100ක් පමණ වේ.

    දැනටමත් එවැනි යානා 48ක් ඇණවුම් කර ඇති බ්‍රිතාන්‍යය, එසේ මිලදී ගන්නා මුළු යානා ප්‍රමාණය 138ක් වන බව පවසයි.

    එහෙත් එවැනි ප්‍රමාණයක් මිලදී ගැනීමට බ්‍රිතාන්‍යයට හැකිද යන්න ගැන දැනටමත් සැක පළවී ඇත. මේ වසර මුලදී නියෝජිත මන්ත්‍රී මණ්ඩල පොදු ගිණුම් කාරක සභාව අනතුරු අඟවමින් පැවසුවේ සමස්ත නෞකා වැඩසටහන මගින් අයවැය "මුල්‍යමය වශයෙන් අනාවරණය" වී ඇති බව ය.

    මන්ත්‍රීවරුන් විසින් ඉස්මතු කරන ලද කරුණු අතර බ්‍රෙක්සිට් වැඩපිළිවෙලින් පසු පවුමේ අගයෙහි උච්ඡාවචනය වීම නිසා එෆ්-35 යානාවල වටිනාකම තවත් ඉහළ යාම ද වේ.

    ජාතික විගණන කාර්යාලයේ ඇස්තමේන්තුවලට අනුව එෆ්-35 ජෙට් යානාවල මූලික ඇණවුම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් රේඩාර් සපයන මර්ලින් (Merlin) හෙලිකොප්ටර් සමග ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක ගොඩනැගීමට යන පිරිවැය පවුම් බිලියන 14 ට අධික වේ.

    පිරිවැය ඉහළ යාම වැළැක්විය නොහැකිය. නෞකා මුහුදේ තිබියදී ඒ වෙත මිනිසුන් මෙන්ම උපකරණ ගෙන යාම හා ගෙන ඒම කෙසේ කරන්නේ ද යන්න නාවික හමුදාව විසින් තවමත් සැලසුම් කළ යුතුව ඇත. ඒ සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත ඔස්ප්‍රී (Osprey) වැනි අලුත් යානා මිලදී ගත යුතුව තිබේ.

    එසේම නෞකා සේ ම එහි ඇති ජෙට් යානා මෙහෙයවීමේ වියදම ද අඩු නැත.

    සිය විශාල නිමිට්ස් පන්තියේ (Nimitz-class) නෞකාවලින් එකක් මුහුදේ රඳවා තැබීමේදී ඇමෙරිකානු නාවික හමුදාව වසරකට ඩොලර් මිලියන 100 (පවුම් මිලියන 78) ට වැඩි පිරිවැයක් දරයි. ඒ ගුවන් පියාසර මෙහෙයුම් වියදම් පමණක් නොව, වෙඩි උණ්ඩ හා කාර්ය මණ්ඩලයේ වැටුප් ද ඊට ඇතුළත් ය.

    අලුත් නෞකා වෙනුවෙන් එදිනෙදා වියදම කොපමණදැයි යන්න ගැන තොරතුරු දීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශයට තවම හැකිවී නැත. එහෙත් රාජකීය ගුවන් හමුදාවේ හිටපු එයාර් මාෂල් ග්‍රෙග් බැග්වෙල් විශ්වාස කරන්නේ දැනටමත් සීමිත වී ඇති සම්පත් මත එය දැඩි පීඩනයක් එල්ල කරනු ඇති බවය.

    නාවික හමුදාවට අභිමත පරිදි මෙම නෞකා පවත්වාගෙන යාම සඳහා බ්‍රිතාන්‍යයට "මුදල්, පුද්ගලයින් හෝ හැකියාව" නොමැති බව ඔහු කියා සිටී.

    නැව් හා නැවියන් ප්‍රමාණවත් නැති ද ?

    News image

    ගුවන් යානා ප්‍රවාහක නෞකා හුදෙකලාව ලොව වටා යාත්‍රා නොකරයි. ඒවා යැවෙන්නේ "ප්‍රහාරක සමූහ" ලෙසිනි.

    නාවික හමුදාපති (First Sea Lord) අද්මිරාල් ශ්‍රීමත් ෆිලිප් ජෝන්ස් පවසන්නේ "ඉහළම තර්ජනයක්" ඇති ප්‍රදේශ තුළදී ගුවන් ආරක්ෂක නැව් දෙකක්, සබ්මැරීන් නාශක නැව් දෙකක්, ප්‍රහාරක සබ්මැරීනයක් හා ඉන්ධන රැගත් නැවක් සමග ආහාර හා වෙඩි උණ්ඩ ගෙන යන නැවක් යන සමුහයකින් බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රවාහක නෞකාවලට ආරක්ෂාව සැපයෙන බවය.

    මෙය හැකිළෙමින් ඇති රාජකීය නාවික හමුදාවේ සැලකිය යුතු තරමේ කොටසකි.

    1990 ගණන්වලදී අලුත් නෞකා තැනීම අරඹන විට රාජකීය නාවික හමුදාව සතුව ෆ්‍රිගේට් වර්ගයේ නැව් සහ ඩිස්ට්‍රෝයර් වර්ගයේ නැව් 35ක් විණි. අද ඊට තිබෙන්නේ නැව් 19 කි.
    News image

    සිය සබ්මැරීනවල‍ට කාර්ය මණ්ඩලය යෙදවීම හා ඒවා නඩත්තු කිරීමේ ගැටලුවකට නාවික හමුදාව මැදිවී සිටී. පසුගිය වසරේ කෙටි කාලයකට සබ්මැරීන හත ම කාර්ය බහුල විට මෙය වඩාත් පිළිඹිමු විය.

    ලොව පුරා සෑම නාවික හමුදාවක් ම "තුන් නියමය" පිළිපදී. මුහුදේ ඇති සෑම නැවකට ම, එක් නැවක් මෙහෙයුමේ යෙදවීමේ සුදානමින් තැබෙන අතර තවෙකක් නඩත්තු කටයුතු සඳහා වරායේ නවතා තැබේ. මෙයින් සුළු අමතර ශක්තියක් ඉතිරි කර ගැනේ.

    අනාගතයේදී අපට සහායක නැව් වැඩි ප්‍රමාණයක් දැකගත හැකිවනු ඇත. බෝම්බ සෙවීම් හා මුර සංචාරක නැව් ෆ්‍රිගේට් වර්ගයේ නැව්වලින් කළ කාර්යය ඉටුකරනු ඇත. කුණාටු හසුවූ බ්‍රිතාන්‍ය එතෙර බලප්‍රදේශවලට උදව් දීම හෝ ඉංග්‍රීසි ඕඩය හරහා යන රුසියානු යුද නැව්වලට පරිවාර සේවය සැලසීම විය හැකිය.

    රාජකීය එක්සත් ආරක්ෂක සේවා ආයතනයේ යුද විද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය පීටර් රොබට්ස් පෙන්වා දෙන්නේ "තමන් වෙත එන සියලු තර්ජනවලින් තමන්ට ම" සිය ගුවන් යානා ප්‍රවාහක නෞකා ආරක්ෂා කරගැනීමේ හැකියාව නාවික හමුදාවට නැති වනු බවය.

    බ්‍රිතාන්‍යයට "සම්පූර්ණයෙන් ම යුරෝපා, අමෙරිකා හෝ ඔස්ට්‍රේලියානු මිත්‍ර හමුදා" මත රැදීමට සිදුවන බව ඔහුගේ විශ්වාසය වේ.

    එම මතය ම ආණ්ඩුවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රීමත් මාර්ක් සෙඩ්විල් විසින් මේ වසර මුල දී ප්‍රතිරාව කළේ අනතුරුදායී සමයකදී විශාල ජාත්‍යන්තර කාර්ය සාධන සමූහයක කොටසක් බවට මෙම නෞකා පත්වනු ඇති බවට මන්ත්‍රීවරුන් හට සංඥාවක් නිකුත් කරමිනි.

    සැබවින්ම, රාජකීය නාවික හමුදාව එය පෙර පැවති තත්ත්වයේ ඡායාවකි. කලක් "සාගර රැළි පාලනය" කළ නාවික හමුදාවක් නිරන්තර පසුබෑමක ඇති බවට ලොවපුරා විවේචකයින් විසින් චිත්‍රණය කරනු ලැබ ඇත.

    දෙවෙනි ලෝක යුද්ධය අවසන් වනවිට එක්සත් ජනපදය ලොව බලවත් ම නාවික හමුදාව ලෙස බ්‍රිතාන්‍යය අභිබවා ගියේය. එහෙත්, 1945 වන විට රාජකීය නාවික හමුදාව සතුව 500 ට වැඩි යුද නැව් ප්‍රමාණයක් විය.

    වසර විස්සකට පසු කෘසර්, ෆ්‍රිගේට් හා ඩිස්ට්‍රෝයර් ඇතුළු ප්‍රධාන වර්ගයේ නැව් ප්‍රමාණය 120 දක්වා අඩු විණි.

    1946: පැසිෆික් කලාපයේ යුද මෙහෙයුම්වලින් පසු කිං ජෝර්ජ් V යුද නැව පොර්ට්ස්මත් වෙත යළි පැමිණි අයුරු

    News image

    1982 ෆෝක්ලන්ත යුද්ධය වන විට රාජකීය නාවික හමුදාව සතුවුයේ ඉනුදු අඩකි - එනම් යුද නැව් 60 කි.

    ආරක්ෂක වියදම් තවදුරටත් කපා හැරීම තුළ, 2010 ක්‍රමෝපායික ආරක්ෂක සමාලෝචනයෙන් පසු එය අද ඇති තත්ත්වයට පැමිණියේය. ෆ්‍රිගේට් හා ඩිස්ට්‍රෝයර් සංඛ්‍යාව 19 කි.

    නාවික හමුදාවේ තර්කය නම්, අද ඇති යුද නැව් අතීතයේ පැවති ඒවාට වඩා ඉතා දියුණු බවය. ඉන් එක් නැවක වටිනාකම පැරණි නැව් විශාල ප්‍රමාණයකට සමාන බව ද ඉන් කියැවේ.

    එසේ වුවත්, අද ඇති බ්‍රිතාන්‍ය නෞකා හැකි පුර්ණ අයුරින් සන්නද්ධ වී නැත. නාවික හමුදාවට දැනට දැරිය නොහැකි මට්ටමේ - කෘස් මිසයිල හෝ අති නවීන නෞකා නාශක මිසයිල හා සබ්මැරීන නාශක ටෝපිඩෝ වැනි අවි සඳහා වෙන්වුණු හිස් ඉඩ බොහෝ නැව්වල දැකිය හැකිය.

    දිගින් දිගටම කෙරෙන වියදම් කපා හැරීම රාජකීය නාවික හමුදාවට ඉතිරි කර ඇත්තේ සුළු නාවිකයින් පිරිසකි.

    1970 දී 86,000 ක පිරිසකගෙන් සමන්විත වූ රාජකීය නාවික හමුදාව වසර 2000 වන විට 62,000 දක්වා පහත වැටිණි. අද, 7,000 පමණ වන රාජකීය මරීන් භටයින් ද ඇතුළුව එහි මුළු පිරිස 29,280 කි.
    News image

    නැව් දෙකකට කෙසේවෙතත් එකකට හෝ කාර්ය මණ්ඩලය යෙදවීමේදී ද නාවික හමුදාව අරගලයක යෙදී සිටී. එවැනි පිරිස් හිඟයක් මැද ෆ්‍රිගේට් නෞකාවක් හා ඩිස්ට්‍රෝයර් නෞකාවක් පසුගිය මාස 18 ක කාලය පුරා "වරාය පුහුණු නෞකා" ලෙස පොර්ට්ස්මත් හි රඳවා තැබිණි.

    එහෙත්, යම්තාක් දුරකට මේ අභියෝග සඳහා රාජකීය නාවික හමුදාව තමන්ව සූදානම් කර ඇති සෙයකි.

    ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක 3,000 ට වැඩි නැවියන් පිරිසක් සිටියදී ගුවන් යානා කාර්ය මණ්ඩලය හා මරීන් භටයින් ද ඇතුළුව, HMS Queen Elizabeth නැව 700 ක් හෝ 1,600 ක පිරිසකගෙන් සමන්විත වේ.

    ස්වයංක්‍රීය යාන්ත්‍රණ මත යැපෙන බැවින් අඩු පිරිසක් යෙදවීමට හැකිවී ඇති බවට නාවික හමුදාව තර්ක කරයි. උදාහරණ වශයෙන් ගුවන් යානා තට්ටුව වෙත බෝම්බ හා මිසයිල ගෙන යාම කෙරෙන්නේ යන්ත්‍ර හා සෝපාන සමූහයක ආධාරයෙනි.

    එහෙත්, HMS Queen Elizabeth නැවට යෙදවීම සඳහා ප්‍රමාණවත් පිරිසක් නොවනු ඇති බවට කොමදෝරු කයිඩ් දැනටමත් ඉඟි කර ඇත. මූලික වශයෙන් වූ 700 ක කාර්ය මණ්ඩලය ඔහු විසින් හඳුන්වා දෙනු ලැබුවේ "හොඳ ආරම්භයක්" ලෙසිනි. මෑතකදී නැවට ගිය ගමනේදී මා හට දැන්වූයේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 800 ආසන්නයට ඉහළ ගොස් ඇති බවකි.

    දැනටමත් සීමාසහිත වූ සම්පත් මත සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇති බවට සැළකෙන ඉතා මිල අධික යුද නැව් දෙකක් මත රාජකීය නාවික හමුදාව සිය අනාගතය තීරණය කරමින් සිටී.

    යුද ඉතිහාසඥයකු වන ශ්‍රීමත් මැක්ස් හේස්ටින්ග්ස් මේ නැව් හඳුන්වා දෙන්නේ, "බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රතිපත්තියේ වැරදුණු සියල්ලගේ සංකේත" ලෙසිනි. අවුළුවන සුළු අනාවැකියක් කී ඔහු පෙන්වා දෙන්නේ, "විශාල සම්පත් ප්‍රමාණයක් යොදවන අතරේ කිසිදු ප්‍රයෝජනයක් නැති දෙයක් සන්තකයේ තබාගැනීම" යන "දැවැන්ත අපහසුතා" දෙකක් දැකිය හැකි වනු ඇති බවය.

    පසුගිය වසරේදී ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර, ශ්‍රීමත් මයිකල් ෆැලන් එම විවේචන ප්‍රතික්ෂේප කළේය. "හාන්සිපුටු" විචාරකයින් "කට පියාගතයුතු" බව කී ඔහු, මෙම නෞකා මානුෂීය හා ආපදා සහන සැලසීමේදී මෙන්ම "අති නවීන යුද ගැටීම්" පිළිබඳ හැකියාවෙන් පිරි "අතිශයින් ම බහුවිධ නිපුණතාවක් හා ප්‍රබල බලයක්" ලෙස හඳුන්වා දුන්නේය.

    ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ගැවින් විලියම්සන් පැවසුවේ, බ්‍රිතාන්‍යය "පසු නොබසින ජාතියක්" බව මෙම නෞකාවෙන් ලොවට පෙන්වා ඇති බවය. "අපේ සියලු සතුරන්ගේ හිතට බිය ගෙන දෙනු ඇති" අතරම බ්‍රිතාන්‍යයට "ලොව පුරා සිය බලපෑම සහ සිය බලය ප්‍රක්ෂේපනයට" ද ඉඩ සලසන බව ඔහු කියා සිටියේය.

    එක්සත් ජනපදය ගිය මග යාම

    2017: බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති එක්සත් ජනපදයට අයත් යූඑස්එස් ජෝර්ජ් එච්ඩබ් බුෂ් (USS George HW Bush) ගුවන් යානා ප්‍රවාහක නෞකාව

    News image

    මේ නෞකා සැබවින් ම එක්සත් රාජධානියේ සමීපතම මිත්‍ර හමුදාවක් වන එක්සත් ජනපදය සාදරයෙන් පිළිගන්නා එක්වීමක් වනු ඇත.

    "සුපිරි ප්‍රවාහකයින්" හසුරුවනු ලබන රටවලින් සැදි කුඩා සමූහයට බ්‍රිතාන්‍යය යළි ඇතුළත්වීමේදී එක්සත් ජනපදයේ විශාල බලපෑමක් විය.

    ගුවන් යානා ප්‍රවාහක නෞකා මෙහෙයවීම සඳහා අවශ්‍ය කෙරෙන නිපුණතාව රඳවා ගැනීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සිය සගයා වූ එක්සත් රාජධානියට සිය සහය දුණි. එක්සත් ජනපද ගුවන් ප්‍රවාහක නෞකාවල සිට ගුවන්ගත වීමට එක්සත් රාජධානියේ නියමුවන්ට ඉඩ සලසා දී ඇති අතර නෞකා ගුවන් යානා අංගන කාර්ය මණ්ඩල පුහුණු කිරීමේදී ද සිය සහයෝගය දෙයි.

    එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන කාල් වින්සන්

    එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන කාල් වින්සන්

    එහෙත්, දුෂ්කර කාල වකවානුවක සිය විශාල යුද නැව් වෙනුවෙන් ආයෝජනය කිරීමට බ්‍රිතාන්‍යය ගත් තීරණය ඇතැමෙකුට, විභූතියේ මායාවක් ලෙස පෙනෙනු ඇත.

    බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රතිඵලයක් වශයෙන් "අතීත අධිරාජ්‍යවාදී උත්කර්ෂය යළි පණගැන්වීමට උත්සාහ දැරීම හෝ සුළු සුපිරි බලවතෙකු ලෙස තවදුරටත් හුවා දැක්වීමේ ස්ව සවිඥානිකත්වයක්" පිළිබඳ ආකල්පයක් ඇතිවිය හැකි බව නික් චයිල්ඩ්ස් පිළිගනී.

    එක්සත් ජනපදයට ගල්ෆ් කලාපයට සිය ගුවන් යානා ප්‍රවාහක නෞකා යැවිය නොහැකි තත්ත්වයක් තුළ එහි හිඩැස සපුරාලීමට රාජකීය නාවික හමුදාවට දැන් හැකියාව ලැබෙනු ඇත.

    ඔවුන් වෙනුවෙන් ම නව ජැටියක් බහරේන් හි ඉදිකෙරිණි.

    එක්සත් රාජධානියේ නාවික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ ස්ථානයක් ඉදිකිරීමේ මුල් අවස්ථාවට ෆිලිප් හැමන්ඩ් (එවක විදේශ ලේකම්) සහ බහරේන් හි විදේශ අමාත්‍යවරයා 2015 දී එක්වූ අයුරු

    එක්සත් රාජධානියේ නාවික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ ස්ථානයක් ඉදිකිරීමේ මුල් අවස්ථාවට ෆිලිප් හැමන්ඩ් (එවක විදේශ ලේකම්) සහ බහරේන් හි විදේශ අමාත්‍යවරයා 2015 දී එක්වූ අයුරු

    HMS Queen Elizabeth නෞකාවේ පළමු මෙහෙයුම් ගමනට එක්සත් ජනපද මරීන් බලකායේ එෆ්-35 ජෙට් යානා ද එක්වනු ඇත. අති විශාල නැව් තට්ටුව පිරවීම සඳහා මුල් වටයේදී එය සැබවින් ම සහයක් වන්නේ එක්සත් රාජධානියට ම අයත් එෆ්-35 යානා සාපේක්ෂව සුළු ප්‍රමාණයක් එහි තිබිය හැකි බැවිනි.

    "සම්පත් පිළිබද පීඩනය බෙදාහදා ගැනීම සඳහා මිත්‍ර පාර්ශ්ව සහයෝගය දේවි" යැයි පවසන කොමදෝරු බෙට්න්, "සන්ධානයක කොටසක් වශයෙන් ක්‍රියාකිරීමේදී අධිකාරී බලය ද පුළුල්වෙනවා" යැයි කියා සිටී. වෙනත් වචනවලින් කියතොත්, සිදුවන්නේ ඊට වැඩි ජාත්‍යන්තර අණ්ඩ දැමීමකි.

    එහෙත්, මේ සුවිසල් නැව් මෙහෙයවීමේ වියදම එක්සත් රාජධානියට දැරීමට සිදුවේ.

    මේ නැව් බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවල හැඩය "ඇද පළුදු" කිරීමේ අනතුරක් ඇති බව ද ග්‍රෙග් බැග්වෙල් පවසයි.

    ක්වීන් එලිසබෙත් පන්තියේ (Queen Elizabeth-class) නැව් පැරණි ඉන්වින්සිබල් පන්තියේ (Invincible-class) නැව්වලට වඩා ආසන්න වශයෙන් තුන් ගුණයක් ප්‍රමාණයෙන් විශාල ය.

    ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් නැවට ද වඩා විශාල අතර එක්සත් ජනපද නිමිට්ස් පන්තියට (US Nimitz-class) වඩා තරමක් කුඩා ය.

    ඇතැමෙකුගේ තර්කය නම් ඉන්වින්සිබල් සැහැල්ලු ප්‍රවාහක නැව් වැනි ප්‍රමාණයෙන් කුඩා යාත්‍රා මත නාවික හමුදාවට යැපිය හැකි අතර එය එසේ විය යුතු බව ය.

    ඉතාලිය දැනට නිපදවමින් සිටින අලුත් ත්‍රියෙස්තේ පන්තියේ (Trieste-class) ගුවන් යානා ප්‍රවාහක නෞකාව ක්වීන් එලිසබෙත් ට වඩා ප්‍රමාණයෙන් තුනෙන් එකක් වන අතරම මූලික වශයෙන් ගත්විට පිරිවැයෙන් ද තුනෙන් එකකි.

    "මීට වසර 20ට කළින් ඉතා අඩු වියදමකින් කළ දේ ම ඉටුකරගන්න අපි අති විශාල යමක් තැනුවා" යැයි ආචාර්ය රොබර්ට්ස් පවසයි.

    "ප්‍රමාණයෙන් බහුවිධ නිපුණතාවක් සපයනවා" සේ ම "දේශපාලනික හා මූලෝපායික තේරීමක්" යැයි කොමදෝරු බෙටන් අවධාරණය කරයි. පැරණි ඉන්වින්සිබල් පන්තියේ නෞකාවලට "තිරසර මට්ටමකින්" යානා සැපයීමට නොහැකි වේවි" යන්න ඔහුගේ තර්කය විණි.

    News image

    විවිධ වර්ගයේ හෙලිකොප්ටර් යානා මෙම නෞකාවේ රැඳවිය හැක. ඒ අතරට, මර්ලින් (Merlin - පොදු සේවා හා සබ්මැරීන නාශක හැකියාව සහිත), වයිල්ඩ්කැට් (Wildcat - බහු කාර්ය සඳහා), චිනුක් (Chinook - බර එසවුම් හා ප්‍රවාහන කටයුතු) මෙන්ම ඇපාචි (Apache - භූමි ප්‍රහාරක හෙලිකොප්ටර්) යනාදිය ද ඇතුළත් වේ.

    යථාර්ථය නම්, මේ නෞකාවලට රට විශාල ආයෝජනයක් කළ හෙයින් ඒවා ඕනෑම කාර්යයක් ඉටුකිරීමේ හැකියාවෙන් යුතු විය යුතුය.

    එම නෞකා පවත්වාගෙන යාම සඳහා අනෙකුත් නැව් ඉවත් කිරීමට නාවික හමුදාවට සිදුවී තිබේ. දැනටමත්, හෙලිකොප්ටර් ගොඩබෑමේ නැවක් වන කල් ඉකුත්වෙමින් ඇති එච්එම්එස් ඕෂන් (HMS Ocean) විකුණා ඇත.

    2011 වසරේ ලිබියාවේ ප්‍රහාර සඳහා ඇපාචි හෙලිකොප්ටර් යෙදවීමට ඕෂන් නැව භාවිත කෙරුණු අතර ඉතා මෑතකදී එනම් පසුගිය වසරේ කැරිබියානු කලාපයේ හරිකේන් කුණාටු නිසා විපතට පත්වූවන්ට සහන සැලසීමට ද යෙදවිණි. ඕෂන් හි කාර්ය මණ්ඩලය දෙවෙනි ගුවන් යානා ප්‍රවාහක නෞකාවට යෙදවීමට නාවික හමුදාවට අවශ්‍යව ඇත.

    මේ අතර ම, දිය ගොඩ ප්‍රහාරක යාත්‍රා දෙකක් වන එච්එම්එස් ඇල්බියන් (HMS Albion) සහ එච්එම්එස් බුල්වර්ක් (HMS Bulwark) නැව් මෙහෙයවීම හා එවැනි කාර්ය මණ්ඩල තවදුරටත් නඩත්තු කළ හැකිද යන්න ගැන ද සිතා බැලීමට සිදුවී තිබේ.

    බළලුන් සහ උගුල්

    News image

    සම්ප්‍රදායික තත්ත්වයෙන් වෙනස් වන සුවිශේෂීම කාර්යය නම්, ක්වීන් එළිසබෙත් නැව සිය ගුවන් යානා දියත් කිරීම හා නැවත ගොඩ බෑම ය.

    බොහෝ ගුවන් යානා ප්‍රවාහක නෞකාවල යානා දියත් කිරීම සඳහා කැටපෝල මෙහෙයවන අතර යානා ගොඩබෑමේදී ඒවා නවතා ගැනීමට රැහැන් (arresting wires) උපයෝගී කරගනී. එය හැඳින්වෙන්නේ "බළලුන් සහ උගුල්" (“cats and traps”) නමිනි. එය ක්වීන් එළිසබෙත් පන්තියේ නැව්වල භාවිත නොවේ.

    අලුත් එෆ්-35බී වර්ගයේ ජෙට් යානා ගුවන්ගත කෙරෙන්නේ නැවේ ඉදිරිපස ඇති "ස්කී ජම්ප්" (“ski jump”) ලෙස හැඳින්වෙන ඉහළට නේරූ තට්ටුවකිනි. ගොඩ බෑම කෙරෙන්නේ, එච්එම්එස් ආර්ක් රෝයල් (HMS Ark Royal) නැවේ සිට හැරියර් ජෙට් (Harrier jump jets) මෙහෙයවූ ආකාරයට ම සිරස් අතට ය.

    මූලික වශයෙන් ක්වීන් එළිසබෙත් පන්තියේ නැව් සඳහා ද "බළලුන් සහ උගුල්" (“cats and traps”) යාන්ත්‍රණය ම සවි කිරීමේ හැකියාව ඇත. 2012 දී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණ ද එය ඉතා මිල අධික බව පෙනෙන්නට විය. එක නැවක් සඳහා එය සවි කිරීමට යන වියදම පවුම් මිලියන 500 සිට පවුම් බිලියන 2 දක්වා ඉහළ නැගිණි. කෙසේවෙතත්, මිනිසුන් රහිත ඩ්‍රෝන වැනි අනෙකුත් යානා මෙහෙයවීම සඳහා එය පසුවට සවි කෙරෙනු ඇතැයි නාවික හමුදාවේ ඇතැමෙක් අපේක්ෂා කරති.

    “cats and traps” යාන්ත්‍රණයෙන් තොරව, බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහක නෞකා භාවිත කිරීමට අනෙකුත් රටවලට අපහසු වනු ඇත.

    එක්සත් ජනපදයේ නිර්මාණය කෙරුණු එෆ්-35 යානා බ්‍රිතාන්‍ය සතුවන පළමු "ස්ටෙල්ත්" (“stealth”) මාදිලියේ යානා වේ. සතුරු රේඩාර්වලට හසුනොවී එම සතුරු බලප්‍රදේශයේ අභ්‍යන්තරයට ම ගොස් පහරදීම සඳහා නිර්මාණය කෙරුණු යානා මෙනමින් හැඳින්වේ.

    එෆ්-35 යානා මාදිලි තුනක් නිර්මාණය කර ඇත. A මාදිලිය ගොඩබිම කඳවුරු සඳහා ද, B මාදිලිය කෙටි දුරක ගුවන්ගත කිරීම හා සිරස් ගොඩබෑම (STOVL) සඳහා ද, C මාදිලිය "බළල් සහ උගුල්" යාන්ත්‍රණය සහිත නැව් සඳහා ද වේ.

    එක තැන ගැවසීම සඳහා අවශ්‍ය එසවුම් පංකා ප්‍රචාලන (lift fan propulsion) පද්ධතියක් අවශ්‍ය බැවින් A මාදිලියට වඩා B මාදිලිය වඩා මිල අධික ය.

    එහි ප්‍රතිඵලයක් ලෙස යානය වැඩි බරින් යුතුවන අතර පියාසර කරන දුර කෙටි ය. - නාවික සැතපුම් 900ක් පමණ (සැතපුම් 1036/කි.මී.1666)
    News image

    එක් ගුවන් යානයක් නිපදවීමට යන පිරිවැය ඩොලර් මිලියන 120 (පවුම් මිලියන 95) කි. අවසන් මිලට මෘදුකාංග, අමතර කොටස් හා සහය සේවා සඳහා යන වියදම ද එක් කෙරේ.

    ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන ලොක්හීඩ් මාර්ටින්(Lockheed Martin) සමාගම පවසනුයේ නිෂ්පාදනය ඉහළ යන විට ගුවන් යානයක මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බවකි. ජෙට් යානයේ 15% ක් නිපදවමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගම් ද ව්‍යාපෘතියට එක්ව සිටියත් තවමත් ඒවායෙහි මිල අධික ය.

    සාමාන්‍ය නාවික ගමන්වලදී එෆ්-35 යානා 24ක් නෞකාවල රඳවා තැබීම බ්‍රිතාන්‍යයට "කොහෙත්ම" දැරිය හැක්කක් නොවන බව ග්‍රෙග් බැග්වෙල් පවසයි.

    රාජකීය නාවික හමුදාවට වඩා වෙනස් මගක් ගන්නා එක්සත් ජනපද නාවික හමුදාව සිය පැරණි එෆ්-18 ජෙට් සමග එෆ්-35 යානා ද පියාසර කරවන බව ඔහු කියා සිටී.

    සැබෑ කාරිය කෙරෙනුයේ පැරණි අඩුමිල ජෙට් යානාවලිනි. "බූරුවෙකුගෙන් ගන්න අවශ්‍ය කාර්යයට අපි අජානීය අශ්වයෙක් යොදාගන්න යනවා" යැයි බැග්වෙල් කියා සිටී.

    එහෙත් රාජකීය නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහක නෞකා ප්‍රහාරක සමූහය අධීක්ෂණය කරන කොමදෝරු බෙට්න් පවසන්නේ යානා 24ක් යනු "මෙහෙයුමකදී සහය දිය හැකි විශ්වාසදායී අවම ප්‍රමාණය" බවය. එයින් සංඥා කෙරෙන්නේ ගුවන් යානා සංඛ්‍යාව හා ඒවායෙහි මෙහෙයුම් පාලනය තිබෙන්නේ කා සතුව ද යන්න සම්බන්ධයෙන් රාජකීය ගුවන් හමුදාව හා රාජකීය නාවික හමුදාව අතර ඇතිවිය හැකි ගැටීමක් සම්බන්ධයෙනි. - විශේෂයෙන් ම අඩු ගුවන් යානා සංඛ්‍යාවක් ඇති මුල් කාලයෙදී.

    එෆ්-35 යානා සතුව ඇති රහසේ පියාසර කිරීමේ ("stealth") හැකියාව මෙන්ම අති නවීන සංවේදක නිසා අනතුරුදායක ස්ථාන පිළිබඳ දත්ත හා බුද්ධි තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් කිරීමේ හැකියාව නාවික හමුදාවට සපයයි.

    එහෙත්, ඒ සියලු තොරතුරු සුරක්ෂිතව සම්ප්‍රේෂණය කිරීම එෆ්-35 යානාවලට පහසු නොවනු ඇත. නාවික හමුදාව පවසන්නේ මේ අභියෝගය යම්දිනක ජයගනු ඇති බවය.

    ඉලක්කයක්

    News image

    HMS Elizabeth නෞකාව "විශාල පහසු ඉලක්කයක්" ලෙස රුසියාව විසින් දැනටමත් හඳුන්වාදෙනු ලැබ ඇත.

    බොහෝ රටවල් නෞකා නාශක මිසයිල සඳහා විශාල ලෙස ආයෝජනය කරමින් සිටිති. මේ එක් නෞකාවක් වෙනුවෙන් දරන පිරිවැයට, DF-21D බැලිස්ටික් නැව් මිසයිල සිය ගණනක් නිපදවීමේ හැකියාව චීනය සතුව ඇත. පෙන්ටගනයේ ඇස්තමේන්තුවට අනුව එවැනි මිසයිලයකට යා හැකි දුර සැතපුම් 1,000ට අධික වේ.

    රුසියාව හා ඉරානය නෞකා නාශක මිසයිල මෙන් ම සබ්මැරීන ද තමන් සතුකරගනිමින් සිටිති. - එය මේ නෞකාවට ඇති තවත් පැහැදිලි තර්ජනයකි.

    එහෙත්, විශාල නැවක් ඉලක්ක කිරීම සඳහා අති නවීන අවි අවශ්‍ය නොවේ. පටු හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර යන එක්සත් ජනපදයේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වටකර ගන්නා ආකාරය ඉරාන විමුක්ති හමුදාව පුහුණුවී තිබේ.

    එවැනි නැවක් සතු ආරක්ෂක පියවර යටපත් කරගැනීම සඳහා බොහෝවිට කුඩා වේග යාත්‍රා සමුහයකට හැකි ය.

    එසේම, වෙරළාසන්නයේදී එවැනි නැවක් ඉලක්ක කිරීම සඳහා බාල වර්ගයේ නෞකා නාශක මිසයිල, පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් බෝට්ටු හෝ ඩ්‍රෝන හාවිත කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමකට ඇති හැකියාව ද කිසිවෙකුට අවතක්සේරු කළ නොහැක.

    කෙසේවෙතත්, අද්මිරාල් ජෝන්ස් ට අනුව, ගුවන් යානා ප්‍රවාහක නෞකා ප්‍රහාරක සමූහයකට ඇති වැදගත් ම වාසිදායක තත්ත්වය වන්නේ එය සැමවිට ම "චරණයවන ඉලක්කයක්" වීම ය.

    විසල් සාගරයේ මෙවැනි නැවක් සොයාගැනීම පහසු කටයුත්තක් නොවන බව HMS Queen Elizabeth නැවේ කපිතාන් කොමදෝරු කයිඩ් අවධාරණය කරයි. විශේෂයෙන් ම එය ආරක්ෂා කරන වෙනත් නැව්, ගුවන් යානා හා සබ්මැරීනවලින් සමන්විත "ආරක්ෂක වළලු" බිඳගෙන යාමට සතුරාට සිදුවේ.

    මේ නැව් තැනීම සුළුපටු ජයග්‍රහණයක් නොවීය. ඉහළ නිපුණතාවකින් හෙබි ශ්‍රමිකයින් දහස් ගණනක් ඊට එක් වූහ. එය ඉංජිනේරු හා සැලසුම් පිළිබඳ ජයග්‍රහණයකි.
    News image

    මේ නැව් අඩ සියවසක කාලයක් සේවයේ යෙදෙනු ඇති බව සිහි කිරීම ද වටී. - HMS Queen Elizabeth නැවේ අවසන් කපිතාන්වරයා ඇතැම්විට තවම ඉපදී නැත.

    එහෙත්, ආචාර්ය රොබර්ට්ස් කියා සිටින්නේ මේ නැව් "බ්‍රිතාන්‍යයේ සාරය" නියෝජනය කරන්නේ යැයි පැවසෙන ආකාරයේ මතයක් රට විසින් ගොඩ නගනු ලැබීම තුළ අනතුරුදායක තත්වයක් මතුවන බව ය. ඕනෑම එදිරිවාදියෙකුගේ ඇසට හසුවන ඉලක්කයක් බවට ඒවා පත්විය හැකිය.

    ආරක්ෂක අයවැය මත ඇති බරපතල පීඩනය සැළකීමේදී රටට මේ නැව් දැරිය හැකි ද යන ප්‍රශ්නය ඇතැමෙකු විමසනු ඇත. "ගැනුම්කරුවෙකුගේ පසුතැවිල්ල" වැන්නක් මතු නොවනු ඇති බව කොමදෝරු බෙට්න් අවධාරණය කරයි.

    මේ දැවැන්ත යුද නෞකා දෙක වෙනුවෙන් ආයෝජනය කළේ ඇයිද යන්න ගැන හා ඒවා තැනීමේ ජාතික අභිමානයට සාධාරණ හේතු ද වේ.

    එක්සත් රාජධානිය යනු සමුද්‍ර කටයුතු හා බැඳි ජාතියකි. ඉදිරි අඩ සියවස තුළ ලොව පුරා බ්‍රිතාන්‍ය හමුදා ශක්තිය ප්‍රක්ෂේපනය කිරීමට මේ නැව්වලට හැකියාව ඇත. විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන මිත්‍ර පාර්ශ්ව සමග ආරක්ෂක සබඳතා තරකරගැනීමට ඒවා උපයෝගී කරගනු ඇත.

    එහෙත්, ආරක්ෂක අයවැය දැඩි පීඩනයකට හසුව ඇති කාලයක මේ විසල් නැව් නඩත්තුව සඳහා වියදම් දැරීම තුළින්, සිය අපේක්ෂා එළෙසම පවත්වා ගැනීම රාජකීය නාවික හමුදාවට අසීරු වනු ඇත.

    News image