පොලිස්, ඉඩම් බලතල ක්‍රියාත්මක කරනවා - උතුරේ මහ ඇමති

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විමධ්‍යගත කොට තිබෙන ඉඩම් සහ පොලිස් බලතල ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බව උතුරු පළාතේ මහ ඇමතිවරයා පවසයි.

NPC opening ceremony in Jaffna
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ රඳවා සිටින දහස් සංඛ්‍යාත හමුදා භට පිරිස 'අවම කිරීමට කටයුතු කරනවා'

මහ ඇමති සීවී විග්නේශ්වරන් ඒ බව සඳහන් කළේ උතුරු පළාත් සභාවේ මංගල සැසිවාරය උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීමෙන් අනතුරුව සභාව අමතා කථාකරමින්.

පළාතේ නීතිය සහ සාමය රැකීම පිණිස දෙමළ කතා කරන පොලිස් නිලධාරීන් වෛදි පිරිසක් සේවයේ යෙදවීමේ අවශ්‍යතාවයද මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මුස්ලිම් ජනතාව

යුද සමයේ උතුරු පලාතෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව යලි පදිංචි කොට ඔවුන්ට අවශ්‍ය සියලු සහන සැලසීමට ක්‍රියා කරන බවටද මංගල රැස්වීමේදී මහ ඇමතිවරයා ප්‍රතිඥා දුන්නේය.

උතුරේ රඳවා සිටින දහස් සංඛ්‍යාත හමුදා භට පිරිස අවම කිරීම පිණිස පළාත් සභා බලතල මත පියවරෙන් පියවර කටයුතු කරන බව පැවසූ මහා ඇමති විග්නේශ්වරන්, කෙසේ නමුත් උතුරු පළාත් සභාව යනු රට බෙදන ඒකකයක් නොවන බව අවධාරණය කළේය.

යාපනයේ, කයිතඩිහි අලුතෙන් ඉදි කරන ලද සභා ශාලාවේදී උත්සවය ආරම්භ කෙරුණේ පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජීඒ චන්ද්‍රසිරිගේ ප්‍රධානත්වයෙන්.

පළාත් සභාවේ සභාපති වශයෙන් සීවීකේ සිවඥානම්ද, උප සභාපති වශයෙන් ඇන්ටන් ජෙගනාදන්ද එහිදී යෝජනා ස්ථිරත්වයෙන් තෝරා පත් කර ගන්නා ලදි.