මාතර පෙළපාලියට මගේ සම්බන්ධයක් නෑ - සජිත්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කළ යුතු බවට ඉල්ලා සිටිමින් සෙනසුරාදා මාතරදී පැවති පෙළපාලියට තමාගේ සම්බන්ධයක් නැති බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.

Sajith Premadasa (file photo)
ඡායාරූප ශීර්ෂ වැකිය, මාතර පෙළපාලිය 'මා පක්ෂ නායකත්වයට පත් කිරීම පිණිස නොවේ'

තමන්ට විශේෂ සහයක් ලබා දෙන කිසියම් කණ්ඩායමක් සිටින බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ප්‍රේමදාස මන්ත්‍රීවරයා, සියලු එජාප සාමාජිකයන්ගේ අපේක්ෂාව පක්ෂය ජයග්‍රහණය කරවීම බවද බීබීසී සංදේශයට පැවසීය.

එබැවින් මාතර පෙළපාලිය මෙහෙය වූ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න පළාත් සභා මන්ත්‍රීවරුන් තමාගේ ආධාරකරුවන් නොව, පක්ෂයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් බවයි ඔහු පවසන්නේ.

එහෙත් එම පළාත් සභා මන්ත්‍රීවරුන් තවදුරටත් එජාප සාමාජිකයන් නොවන බව, එජාප මාධ්‍ය අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

'මා වෙනුවෙන් නොවේ'

මාතර පැවති පෙළපාලිය තමා පක්ෂ නායකත්වයට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක් නොවන බවද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් පෙළපාලිය සහ එහිදී හටගත් ගැටුම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවට සමරවීර මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳව විමසු විට ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් තවමත් සිදුවීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවයි.

පක්ෂයේ ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙලා දකින බව සංදේශයට කියා සිටි ප්‍රේමදාස මන්ත්‍රීවරයා, අත් අඩංගුවට ගෙන සිටින එජාප ආධාරකරුවන් සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවද සඳහන් කළේය.