ශ්‍රී ලාංකික පුරවැසියන් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්
ශ්‍රී ලංකාවේ බලවත්ම දේශපාලන රාජ වංශය පෙරළා දැමු හැටි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගනිමින් 2019 නොවැම්බර් මස 18 වනදා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වසර 5ක ධුර කාලය සඳහා තේරී පත්වුවද, තම ධුර කාලයෙන් මාස 32ක් ඉකුත් වන තැන ඔහු ශ්‍රී ලංකාවෙන් පලා ගියේය.
ඒ මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව බැට කෑ දරුණුම ආර්ථික අර්බුදය හේතුවෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ පාලනයට එරෙහිව නැගෙමින් තිබු මහජන විරෝධයන්හි උච්ච්තම අවස්ථාව සනිටුහන් කළ ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයෙන් රැස් වූ ජනයා කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවස වටලා එය අත්පත් කරගැනීමෙන් අනතුරුවය.
එහෙත් එය සිදු වුයේ එක රැයකින්ද?
නැත. ඒ අනුව බීබීසී සිංහල සේවයේ අපි, ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමට පෙර, අත්පත් කරගත් මොහොත සහ අත්පත් කරගැනීමෙන් පසු යන කාල පරාසයන් හිදී ශ්‍රී ලංකාවේ සමාජ,දේශපාලන, ආර්ථික දිශානතිය වෙනස්වීම සළකුණු කරන ප්‍රධාන ඉතිහාසගත සන්ධිස්ඨාන හඳුනාගැනීමට මෙලෙස නැවත ඒ දෙස හැරී බැලීමක් කළෙමු.
"කරන්ට් නෑ, තෙල් නෑ "
මහජන විරෝධතාවන්ගේ ආරම්භය ඉතා හුදෙකළාව කුඩා කුඩා සාමාජිකයින් 4-5 කට සීමා වූ මිතුරු කව වලින් ඇරඹුණු අතර, ඒවා කොළඹ තදාසන්න ප්‍රදේශ වල, සවස් යාමයේදී තම තමන් විසින් ගෙනා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැවති ඉන්ධන හා බලශක්ති අර්බුදයට දක්වන පුරවැසි විරෝධයන් පමණක් විය.
"කුස්සියේ විලාපය"
පසුව සංවිධාන ගත නොවූ එහෙත් සමාජ මාධ්‍ය (ෆේස්බුක් සහ වට්ස්ඇප්) සහ පුරවැසියන් තම පෞද්ගලික ට්විටර් ගිණුම් ඔස්සේ මෙම කුඩා කුඩා විරෝධයන් පැවැත්වෙන ස්ථාන, වේලාවන් හුවමාරු කරගැනීම සිදුවූ අතර රැකියාව අවසන් වී නිවෙස් බලා යන පිරිස්, රථ වාහන වල ගමන්ගන්නන් තම රථ වල නලා හඬවමින් මෙම විරෝධයන්ට සහාය දැක් වූ අතර, තරුණ හා මැදි වයස් කණ්ඩායම් ඒ වටා වැඩි වශයෙන් එකතු වෙනු දක්නට ලැබුණි. විශේෂයන්ම එවකට පැවති බල ශක්ති අර්බුදයෙන් සහ ආර්ථික අර්බුදයෙන් කුටුම්බයට එල්ල වූ දරා ගත නොහැකි බර හේතු කොට ගෙන ගෘහණියන් විශාල පිරිසක් මේ විරෝධතා වලට එක්විය. තම මුළුතැන්ගෙයි උපකරණ මහපාරට ගෙනවිත් ඒවාට ශබ්ද නගා තට්ටු කරමින් තම විරෝධය එහිදී ඔවුන් පළ කළහ.
"ගෝඨා ගෝ හෝම්" සටන් පාඨය
දිනපතා සවස් යාමයේ පැවැත්වෙන විරෝධයන් දිනෙන දින නිර්මාණශීලි ප්‍රවේශයන් ගත් අතර, එමඟින් වඩා වැඩි පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමටත්, කොළඹ කේන්ද්‍රියව පැවති විරෝධයන් රට පුරා බොහෝ නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ජනයා පෙළඹවිමටත් හැකිවිය. මුල් කාලීනව ඉන්ධන හිඟතාවය, විදුලි කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් අඬාල වීම, උද්ධමනය ආදී සෘජු අපහසුතාවයන් ගැන විරෝධය පළකළ ජනයා එවකට පැවති රජයට, පාලකයන්ට, දුෂණයට සහ අක්‍රමවත්බවට විරෝධය පෑ අතර එය ක්‍රමයෙන් රාජපක්ෂ පවුල සහ විශේෂයෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අසමත්භාවය හේතුකොටගෙන සිදුවන්නක් බවට චෝදනා එල්ල විය.ඉන් අනතුරුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්විය යුතු බවට පාට, පක්ෂ භේදයකින් තොරව නැගෙන පුළුල් විරෝධය සටහන් කළ "ගෝඨා ගෝ හෝම්" සටන් පාඨය කරළියට පැමිණියේය.



ගාලු මුවදොර මහජන අරගලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.
විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල " ගෝඨා ගෝ ගම" ස්ථාපිත කළේය.
2022 ජූලි 8 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය අසල දර්ශන
"ගෝඨා ගෝ ගම" දළ සිතියම
"ගෝඨා ගෝ ගම" මහජන අරගල භූමියේ සංචාරය කරමින් එහි වූ ස්ථාපිතයන් නිරීක්ෂණය කොට නිර්මිත දළ සිතියමකි.

මෑතකාලීන ශ්‍රී ලංකා දේශපාලනයේ බලවත්ම රාජවංශය වූ "රාජපක්ෂ" සන්නාමයේ කේන්ද්‍රය වූයේ මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
2019 අගෝස්තු පැවතිජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුල අතර බහුවිධ අමාත්‍යාංශ බෙදා ගනිමින් ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු සහ බෑණනුවන් දෙදෙනෙකු ඇතුළත් කැබිනට් මණ්ඩලයක් පත් කරන ලදී.









