ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ නාන කාමරයේ සැඟවුණු බැක්ටීරියා බිලියන ගණනක් ඔබේ මුහුණට පැනීමට බලා සිටී: ඔබ කළ යුත්තේ කුමක් ද?
- Author, ෆ්‍රැන්සිස් හැසාර්ඩ්
ඔබේ නාන කාමරයේ ෂවර් හෙඩ් එක සහ එයට සම්බන්ධ වන ජල නළ බැක්ටීරියා සහ දිලීර සඳහා තෝතැන්නකි. නමුත් සරල උපක්‍රම කිහිපයක් මගින් ඒවා කාණුවට ගලා යැවිය හැකි ය.
අප බොහෝ දෙනෙකු ස්නානය කරන්නේ පිරිසිදු වීමේ අපේක්ෂාවෙනි. ස්නානයෙන් පසු, උණු වතුර ඔබට නැවුම්බවක් ලබා දිය යුතු අතර, සබන් මිහිරි සුවඳක් ලබා දිය යුතු ය. කෙසේ වෙතත්, අවසානයේ අපේක්ෂා කළ හැකි වන්නේ ඔබේ මුහුණ මත බැක්ටීරියා විශාල ප්‍රමාණයක් විසිරී යාම ය. ඔබ ෂවර් එකෙහි කරාමය විවෘත කළ විට සිදුවන්නේ එය යි.
ඔබේ ජලනළයේ අවසාන මීටරය තුළ කුඩා පරිසර පද්ධතියක් සැඟවී සිටින අතර, එය ඔබ නළය ක්‍රියාත්මක කරන තෙක් රැඳී සිටියි.
ඉන් අදහස් කෙරෙන්නේ උදෑසන සේදීමකදී හුදෙක් ජලය සහ වාෂ්ප පමණක් අපට නොලැබෙන බව ය. රාත්‍රිය පුරාවට ෂවර් නළයේ සහ එහි හිස කොටස තුළ බැක්ටීරියාවල ජෛව පටලයක් ගොඩනැගෙයි.
මෙම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කොටසක් පසුව ඔබේ ෂවර් එක තුළින් එන ජල බිඳිති මත සැඟව සිටියි. ඉන් බොහෝමයක් සාමාන්‍ය සහ හානිකර නොවන ඒවා ය. කෙසේ වෙතත්, නිශ්චිතව මිශ්‍ර වන ක්ෂුද්‍රජීවී ප්‍රමාණය රඳා පවතින්නේ නළය සකසා ඇති ද්‍රව්‍ය සහ ඔබ කොපමණ වාරයක් ස්නානය කරන්නේ ද යන්න මත ය. විස්මය ආරම්භ වන ස්ථානය එය යි.
ෂවර් හෙඩ් සහ ජල නළ බැක්ටීරියා වර්ධනය සඳහා කදිම ස්ථානයකි. ඔබ ස්නානය කිරීමෙන් අනතුරුව නළය උණුසුම්, තෙත සහ බාධාවකින් තොරව පැය ගණනක් පවතී.
එහි දිගු, පටු දඟරය ක්ෂුද්‍ර ජීවීන්ට ඔවුන්ගේ පදිංචිය සඳහා ප්‍රමාණවත් රළු මතුපිටක් සපයයි. බැක්ටීරියා එහි ඇතුළු වූ විට ජලයේ දියවී ඇති පෝෂ්‍ය පදාර්ථ මෙන් ම ප්ලාස්ටික් ෂවර් බටයෙන් කාන්දු වන කුඩා කාබන් ප්‍රමාණයක් ද අවශෝෂණය කර ගනියි.
එම පද්ධතිය එක රැයක් එලෙස තැබූ විට ක්ෂුද්‍ර ජීවීන් ඉක්මනින් වර්ධනය වේ. එම බැක්ටීරියා ජෛව පටල සාදයි. එය නැව් බඳෙහි සිට ඔබේ දත් මත ඇති මැලියම් පටලය දක්වා ඕනෑ ම තෙත් මතුපිටකට පාහේ ඇලී සිටින අන්වීක්ෂීය ක්ෂුද්‍රජීවී කලාපයකි. ඔබ ජල කරාමය ක්‍රියාත්මක කළ විට ජෛව පටල කොටස් පහසුවෙන් විහිදුම් නලය තුළ විසිරීමට ලක්වේ.
අප කතා කරන්නේ බැක්ටීරියා කොපමණ ප්‍රමාණයක් පිළිබඳව ද?
රසායනාගාර තුළ සහ නිවෙස් තුළ සිදු කළ පරීක්ෂණවලදී, ෂවර් නළය මත ඇති බැක්ටීරියා සංඛ්‍යාව වර්ග සෙන්ටිමීටරයකට සෛල මිලියනයක සිට මිලියන සිය ගණනක් දක්වා විය හැකි ය. බොහෝ ඒවා හානිකර නොවේ.
කෙසේ වෙතත් ක්ෂය රෝගය සහ ලාදුරු රෝගයට වගකිව යුතු මයිකොබැක්ටීරියා ඇතුළුව පස තුළ මෙන් ම බොහෝ ස්ථානවල දක්නට ලැබෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සැදුම්ලත් විවිධ කණ්ඩායම් හානි කර විය හැකි යි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ නිවාසවල සවිකර ඇති ෂවර් හෝස් පරීක්ෂා කළ පර්යේෂකයන් විසින් Exophiala, Fusarium සහ Malassezia වැනි වර්ගවල දිලීර DNA සොයා ගෙන ඇත. මේවා අපගේ සමේ සහ පසෙහි දක්නට ලැබෙන අතර ඇතැම්විට අවස්ථානුකූලව ආසාදන ඇති කරයි.
නමුත් මෙම ක්ෂුද්‍ර ජීවීන් සමූහය ස්ථාවර නොවේ, කාලයත් සමග එය වෙනස් වේ. චීනයේ පර්යේෂකයින් පිරිසක් රසායනාගාරයක ස්ථාපනය කළ ක්‍රියාකාරී ෂවර් ඒකක 48ක් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ, ෂවර් ජලනළය සාමාන්‍ය පරිදි භාවිතයෙන් ඒ තුළ වර්ධනය වන ජෛව පටලය සති හතරක පමණ කාලයකදී එහි උච්චතම අවස්ථාවට ළඟා වූ බව ය.
කෙසේ වෙතත්, ජෛව පටලය නලය තුළ ලිහිල් ලෙස සවි වී තිබූ නිසා පසුව එය පහළ වැටුණු අතර සති 22කින් අනතුරුව ආපසු බැඳී තිබිණි.
කණස්සලට කරුණක් නම් ෂවර් හෙඩ් සහ නළවල සති හතරකට පසු සහ දිගුකාලීන පල්වීමකින් පසු ජෛව පටලය නැවත මතු වූ විට ඒවායෙහි නියුමෝනියා තත්ත්වයක් වන ලෙජියොනෙයාර්ස් රෝගය ඇති කරන බැක්ටීරියාවක් වන ලෙජියොනෙල්ලා නියුමෝෆිලා ඇති බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබීම ය.
බොහෝ දෙනෙකුට ඔබේ ෂවර් හෙඩ් එකෙන් රෝගකාරකයක් ආසාදනය වීමේ අවදානම අඩු ය. විශේෂයෙන් ඔබ එය නිතර භාවිත කරන්නේ නම් අවදානම බෙහෙවින් අඩු ය.
"ලෙජියෝනෙල්ලා සහ අවස්ථානුකූලව පැවතිය හැකි අනෙකුත් රෝග කාරකවලින් අපිරිසිදු වූ ෂවර්වල විතරයි අවදානමක් තියෙන්නේ," ස්විට්සර්ලන්තයේ ඩුබෙන්ඩෝෆ්හි ස්විස් ෆෙඩ්රල් ජලජ විද්‍යා හා තාක්ෂණ ආයතනයේ පානීය ජල ක්ෂුද්‍රජීව විද්‍යාඥ ෆ්‍රෙඩ්රික් හැම්ස් පවසයි.
"ෂවර් එක ලෙජියොනෙල්ලා නියුමෝෆිලා විශේෂය මගින් අපිරිසිදු වෙලා තියෙනවා නම්, එය භාවිත කරන පුද්ගලයා එරෝසෝල් වළාවක් නිර්මාණය වන ස්ථානයට ආසන්නව සිටීම නිසා ආසාදන අවදානම සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙනවා."
නමුත්, ඔහු පෙන්වා දෙන අන්දමට එම දත්ත මගින් යෝජනා කරන්නේ සායනිකව අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට මෙහි අවදානම ඉතා ඉහළ බව ය.
රෝහල් දැඩි ලෙස විෂබීජ නාශක භාවිත කිරීම සහ ෂවර් හෙඩ් නිරන්තරයෙන් මාරු කිරීම සිදු කරනු ලබන්නේ එහෙයිනි. එය ඔබ ජීවත් වන ස්ථානය මත රඳා පවතී. එක්සත් ජනපද අධ්‍යයනයකින් සොයා ගැනුණේ ෂවර් හෙඩ් තුළ මයිකොබැක්ටීරියා රෝගකාරකය අඩංගු ප්‍රදේශවල පෙනහලු රෝග සඳහා ඉහළ අනුපාතයක් ඇති නිදන්ගත පෙනහලු ආසාදන වර්ගයක් වන non-tuberculous mycobacteria (NTM) පවතින බව ය.
අධිඅවදානම් කලාපවලට හවායි, ෆ්ලොරීඩා, දකුණු කැලිෆෝනියා, සහ නිව් යෝර්ක් වැනි මධ්‍ය අත්ලාන්තික්/ඊසානදිග කලාපය අයත් වේ. මධ්‍ය බටහිර කලාපයේ ඇතැම් ප්‍රදේශවල ද ඉහළ මට්ටමක් පෙන්නුම් කර ඇත. දේශීය කාලගුණය සහ ජලයේ ශේෂ වී පවතින විෂබීජ නාශක ෂවර් තුළ වර්ධනය වන ක්ෂුද්‍ර ජීවීන්ට බලපාන අතර උණුසුම් ස්ථාන සහ ඉහළ ක්ලෝරීන් ඇතැම් හානිකර බැක්ටීරියාවලට සම්බන්ධ වී තිබිණි.
ඔබේ ෂවර් එක තුළ ඇති බැක්ටීරියාවල සංයුතිය ඒ තුළින් ගලා එන ජලයේ මූලාශ්‍රය මත ද රඳා පවතී. නෙදර්ලන්තයේ වැනි ළිං ජලය හෝ ක්ලෝරීන් නොකළ පද්ධති මත යැපෙන නිවාසවලට සාපේක්ෂව ක්ලෝරීන් කළ ජලය සපයන නිවාස වඩා වැඩි මයිකොබැක්ටීරියා ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට නැඹුරු වී තිබේ. මෙයට හේතුව අවශේෂ විෂබීජ නාශක මෙම ක්ලෝරීන් සඳහා ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර වීම ය.
වාසනාවකට මෙන්, ඔබේ ෂවර් එක තුළ වර්ධනය වන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇති වන අවදානම අවම කර ගැනීම සඳහා ඔබට ගත හැකි සරල පියවර කිහිපයක් ද තිබේ.
ද්‍රව්‍යමය කරුණු
පළමුව, ඔබේ ෂවර් හෙඩ් සහ ජල නළ සැකසීමට භාවිත කර ඇති ද්‍රව්‍යය ඒ තුළ ජීවය පවත්වාගෙන යන බැක්ටීරියා සංඛ්‍යාව සහ වර්ගය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව පෙනෙන්නට තිබේ.
එක් අධ්‍යයනයකදී, පර්යේෂකයන් "ෂවර් ආකෘති" දෙකක් නිර්මාණය කළ අතර, ඔවුහු මාස අටක් පුරා සෑම දිනක ම ඒවා පරීක්ෂා කළහ.
ඉන් එකක නම්‍යශීලී සහ හැඩය වෙනස් කළ හැකි PVC ප්‍රභේදයක් වන PVC-P වලින් සාදන ලද නළයක් තිබූ අතර, දෙවන නළය වෙනත් ප්ලාස්ටික් වර්ගයක් වන PE-Xc භාවිතයෙන් සකසා තිබිණි.
මාස අටකට පසු, නළ දෙක තුළ ම ඇලෙනසුලු ජෛව පටලයක් රැඳී තිබිණි. නමුත් PVC-P හෝස් එකේ 100 ගුණයකින් වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් පැවතිණි.
ඊට හේතුව වන්නේ, ඇතැම් ෂවර් නළ වර්ග අනෙක් ඒවාට සාපේක්ෂව ජෛව පටල පෝෂණය කිරීම ය. PVC-P සලකා බැලීමේදී විශේෂයෙන් ම ඒවා අලුත් නම් PE-Xc වලට සාපේක්ෂව වැඩි කාබන් ප්‍රමාණයක් ජලයට කාන්දු කිරීමේ හැකියාවක් පවතී. එම කාබන්, බැක්ටීරියා සඳහා අමතර පෝෂක සපයන අතර, ජෛව පටලවලට ආරම්භයේදී ම මෘදු, රළු මතුපිටක් ද සපයයි.
මල නොබැඳෙන වානේ හෝ ක්‍රෝම් ආලේපිත පිත්තලවලින් සාදන ලද සරල ලෝහමය ෂවර් හිසක් සහ PE-X හෝ PTFE ලයිනර් සහිත කෙටි නළයක් ජෛව පටල සෑදීම වළක්වාලීමට සහය දක්වයි.
කුටීර සහිත හෝ පහසු නම්‍යශීලී ෂවර් හිස් තුළ නිශ්චල ජලය රඳවා ගත හැකි ය. මෙම ජලය නළවලින් ලෝහ එකතු කර ක්ෂුද්‍රජීවී වර්ගවලට වර්ධනය වීමට ඉඩ සලසයි.
මේ අතර, අඩු පීඩන සහ "rainfall" ෂවර් හිස් වැනි පරිසර හිතකාමී තේරීම්වලට ආශ්වාස කළ වායු ප්‍රමාණය වෙනස් කරමින් පුද්ගලයෙකු බැක්ටීරියාවලට නිරාවරණය වීමේ ප්‍රමාණය වෙනස් කළ හැකි ය.
මේවා, "make America's showers great again" යනුවෙන් ධවල මන්දිරය ප්‍රතිඥා දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකින් ඉලක්ක කරන ලද ෂවර් හිස්වලට සමාන ජල පිරිමැසුම් ෂවර් හිස් වේ.
ඉසින රටාව වැදගත් වන්නේ, mist මාදිලිය rain spray මාදිලියට සාපේක්ෂව පස් ගුණයකින් පමණ සියුම් වායු බුබුළු නිපදවන බැවිනි.
මේ අතර, ෂවර් එකෙහි රැඳි වතුරෙන් ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීමට සකස් කර ඇති රිදී වැනි පෙරහන් හෝ ලෝහ අඩංගු "ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ෂවර් හෙඩ්" මිලදී ගැනීමට ඔබට හැකියාව පැවතිය ද, පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ, වෙළෙඳපළේ පවතින බොහෝ නිෂ්පාදන ජලයේ ඇති රෝගකාරක මට්ටම අඩු කිරීමට ප්‍රමාණවත් කාර්යයක් ඉටු නොකරන බව ය.
හැම්ස් පවසන්නේ, ජෛව පටලයක් හෝ ඛනිජ ප්‍රමාණයක් එක්වරක් නිර්මාණය වූ පසු, බලපෑම වේගයෙන් අඩු වන බව ය.
"in-line ෂවර් ෆිල්ටර් මේ සඳහා විශ්වාසදායක අයුරින් ක්‍රියාත්මක වන එක් තාක්ෂණික විසඳුමක්. ඒත් මේවා නඩත්තු කිරීම මිල අධික වන අතර ක්‍රියාකරවීමට සැලකිය යුතු ජල පීඩනයක් ද අවශ්‍ය වෙනවා.''
ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරු විද්‍යාව සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය සාරා-ජේන් හේග් සහ සහයකයෙකු පූර්ණ පරිමාණ පරීක්ෂණවලදී පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික ආකෘති හා සසඳා බලන විට "ක්ෂුද්‍ර ජීවී නාශක" ෂවර් පූර්ණ ක්ෂුද්‍ර ජීවී පරිමාව අඩු නොකරන බව ය.
ඒ වෙනුවට, ක්ෂුද්‍ර ජීවීන් වර්ග බොහෝ දුරට වෙනස් වී ඇත, ඒ, සැබෑ ෂවර් මගින් ජලයට විෂබීජහරණය කිරීමට ඉතා අඩු කාලයක් ගත වීමත්, පවිත්‍රකාරක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමත් සිදුවන හෙයිනි. එමෙන් ම ජලයට පෝෂ්‍ය පදාර්ථ එක් කරන හෝ ක්ලෝරීන් පෙරීම සිදු කරමින් "සෞඛ්‍යය ඉහළ නංවන" බවට සිදු කරන ප්‍රකාශ සමග අලෙවි කරන ෂවර් හිස් සම්බන්ධයෙන් ඇය උපදෙස් දෙයි. ඒවායින් "අපට අනවශ්‍ය ආකාරයෙන් ක්ෂුද්‍ර ජීවීන් වෙනස් වීමක් සිදුවිය හැකි යි".
ඵලදායී සරල පුරුදු
ජලයේ උෂ්ණත්වය ද වෙනසක් සිදු කරයි. වෙනස් උෂ්ණත්ව සහ ෂවර් හෙඩ් වර්ග පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණවලදී ෂවර් එක ක්‍රියාත්මක කර පළමු මිනිත්තු 1-2 තුළ උණුසුම් ජලය ආශ්වාස කළ හැකි විශාල වායු බුබුළු රැල්ලක් නිපදවයි.
මෙයින් අදහස් කරන්නේ, ඔබ උණුසුම් ජල නළය සක්‍රීය කිරීමෙන් පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔබේ ෂවර් එක තුළ සැඟවී සිටින ඕනෑ ම රෝග කාරකයකට නිරාවරණය වීමේ ඉහළ ම සම්භාවිතාවක් ඇති බව ය. නමුත් ඔබ සීතල ජලය ස්නානය කිරීමක් ගැන නොසිතන්න.
ඒ වෙනුවට ඔබ එය සක්‍රීය කරන විට ෂවර්හෙඩ් එක යට සිටගෙන සිටීමට අවශ්‍ය දැයි සලකා බලන්න. තත්පර 60-90ක් ෂවර් එක ක්‍රියාත්මක කිරීම, ඉසිනය යටට යාමට පෙර එය උණුසුම් වීමට ඉඩ දීම යන්නෙන් අදහස් වන්නේ එය එම කාලය තුළ යම් ප්‍රයෝජනවත් කාර්යයක් සිදු කරන බව සහ ක්ෂුද්‍ර ජීවීන් බොහෝ ප්‍රමාණයක් ඉවත් කරන බව ය. විරාමයකට පසුව හෝ යම් කාලපරතරයකින් අනතුරුව ෂවර් එක භාවිත කරන විට මෙම ක්‍රමය විශේෂයෙන් සුදුසු වේ.
20-45C (68-113F) පමණ උෂ්ණත්වයේදී ලෙජියෝනෙල්ලා ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ ගිය ද, 50C (122F)ට වඩා, විශේෂයෙන් 60C (140F)ට වඩා උෂ්ණත්වයේදී ක්ෂය වී යයි. ටැංකි හෝ සිලින්ඩරවල ජලය ගබඩා කර ඇති උණු වතුර පද්ධති පවතින පුද්ගලයින් සඳහා නිර්දේශ, ජලය 60C (140F) උෂ්ණත්වයේ තබා ගන්නා ලෙස ය. එවිට ඔබට ස්නානයේදී උෂ්ණත්වය වඩාත් සුවපහසු උෂ්ණත්වයකට සකස් කිරීම සඳහා තාප ස්ථායී මිශ්‍ර කපාටයක් භාවිත කළ හැකි ය.
ඔබ පිළිස්සීමට ලක්වීමේ අවදානමක් පවතින බැවින් 48C (118F) ට වැඩි ජලය භාවිතයෙන් ස්නානය කිරීම නිර්දේශ නොකර යි. චීනයේ සහ නෙදර්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් සොයා ගැනුණේ නිරන්තරයෙන් භාවිත කරන ෂවර් නළයක ක්ෂුද්‍රජීවීන් වර්ධනය පාලනය කිරීමට 45C (113F)ක උෂ්ණත්වයක් ප්‍රමාණවත් බව ය.
මූලික අධ්‍යනයකින් යෝජනා කරන්නේ, ස්නානය කිරීමෙන් පසු නාන කාමරයේ තෙතමනය ඉවත් කිරීම සහ ඒ තුළට වාතාශ්‍රය ගලා ඒමට සැලැස්වීම වාතයේ පවතින බැක්ටීරියා අඩංගු එයරොසෝල් මට්ටම අඩු කිරීමේ ඵලදායී ක්‍රමයක් විය හැකි බව ය. හේග් ද ඊට සමාන ප්‍රතිඵල සොයාගෙන තිබේ.
"අපගේ රසායනාගාරයේදී, මයික්‍රොමීටර් 5ට අඩු අංශු ෂවර් එක ඕෆ් කළාට පස්සෙ අවම වශයෙන් පැයක්වත් වාතයේ පැවතිය හැකි බව අපි සොයා ගත්තා," හේග් පවසයි. "නිස්සාරක විදුලි පංකාවක් ක්‍රියාත්මක වීමත් සමග වාතයේ අංශු සංඛ්‍යා සැලකිය යුතු ලෙස අඩු වෙනවා."
"මම සහ මගේ පවුලේ අය විනාඩියකට සම්මත ජලය ගැලුම් 1.8 [ලීටර් 6.8] ජලය පිට කරන ෂවර් හෙඩ් එකක් භාවිත කරනවා. ඒක අමුතු දෙයක් නෙවෙයි. අපි සෑම විට ම නිස්සාරක විදුලි පංකාව ක්‍රියාත්මක කර ස්නානය කරන අතර ජලය සහ විදුලි පංකාව මිනිත්තු කිහිපයක් ක්‍රියාත්මක වූ පසුව ෂවර් එක යටට යනවා."
ඔබ කොපමණ වාරයක් ෂවර් එක භාවිත කරනවා ද යන්න ද වර්ධනය වන බැක්ටීරියා ගණනට බලපා යි. නිරන්තරයෙන් ෂවර් එකක් භාවිත කරන විට, ජල නළ සහ ෂවර් හෙඩ්වල ජලය එකතැන පල්වීමට ඇති අවස්ථාව අඩු වේ. හැම්ස් සහ ඔහුගේ සගයන්ගේ පර්යේෂණවලට අනුව, එකතැන පල්වෙන ජලය අඩංගු ෂවර් ජල නළවල ක්ෂුද්‍ර ජීවීන් විශේෂයෙන් ව්‍යාප්ත වන බව දක්නට ලැබේ.
පුදුමයක් වන්නේ ජෛව පටල කාලයත් සමග වඩාත් ස්ථායී විය හැකි බැවින් අලුත් ෂවර් ජල නළයක් සෑම විට ම විසඳුමක් නොවන බව පෙනෙන්නට තිබීම ය. අලුත් ෂවර් නළයක් තුළ වැඩෙන බැක්ටීරියා ලිහිල්ව සම්බන්ධ වී ඇති අතර එම නිසා සෑම දිනක ම එය හරහා ගලා යන පළමු ජල පහරේදී පහසුවෙන් සේදී යයි. චීන සහ නෙදර්ලන්ත පර්යේෂකයින් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ෂවර් එක සක්‍රීය කිරීමේදී පිට වන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් 62%ක් සති හතරක් පැරණි නළයකින් පැමිණෙන බව ය. ඉන් පසු එය අඩු වීමට පටන් ගනී. 40 වන සතිය වන විට, ජෛව පටලය වඩාත් ස්ථායී වීම නිසා ජලයේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් 1.5% ක් පමණක් නළයෙන් ගලාවිත් තිබිණි. මෙම කාලයෙන් පසු, නළයේ ජෛව පටලය වැඩි වන නමුත් එය වඩාත් තදින් සවි කර ඇති අතර එබැවින් සෑම අවස්ථාවක ම අඩුවෙන් සෝදා හරිනු ලැබේ.
තවමත් පවතින හොඳ ම විසඳුම නිරන්තරයෙන් නඩත්තු කිරීමයි
ෂවර් එක හරහා දැඩි ලෙස උණුසුම් ජලය ගලා යාමට සලස්වා නිතිපතා පිරිසිදු කිරීම, ඔබේ ෂවර් හෙඩ් ඉවත් කිරීම හෝ ලෙමන් යුෂවලින් පිරිසුදු කිරීම, එහි ජීවය පවත්වාගෙන යන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලියට බාධා කිරීමට සහ ජෛව පටලවල ප්‍රමාණය පාලනය කිරීමට උපකාරී වේ. සායනිකව අවදානමට ලක්විය හැකි අයෙකු නිවසේ සිටින්නේ නම්, මිල අධික "ප්‍රති-ක්ෂුද්‍ර ජීවී" විකල්ප මත විශ්වාසය තැබීමට වඩා වාර්ෂිකව ෂවර් නළ සහ ෂවර් හෙඩ් මාරු කිරීම පිළිබඳ සලකා බැලිය යුතු වේ.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කර ඇති මගපෙන්වීම් මගින් අවදානම වැඩියෙන් පවතින ස්ථාන ලෙස සැලකෙන රෝහල් සහ රැකවරණ සැපයුම් මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශමෙන් සැලසුම් තෝරා ගැනීම සහ දැඩි නඩත්තු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ජල සැපයුම්වල ද්විතියික විෂබීජහරණය ද වැදගත් විය හැකි ය.
ඔබේ ෂවර් එකේ සිටින මෙම ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අදහස ඔබට අපහසුතාවක් ගෙන දෙන්නේ නම්, ඒ පිළිබඳ වෙනස් ආකාරයකින් සිතා බැලීම වඩා සුදුසු වේ.
ඔබේ ෂවර් එක පාරිසරික වශයෙන් අපිරිසිදු නැත. එය ඔබ කරාමය විවෘත කරන ඕනෑ ම අවස්ථාවක ඔබව පිළිගැනීමට බලා සිටින කාර්ය බහුල ක්ෂුද්‍ර ජීවීන්ගේ කුඩා ප්‍රජාවක් ලෙස සිතන්න.
ඔබට ඒවා සදහට ම ඉවත් කළ නොහැක. එමනිසා, ඔවුන් සමග ජීවත් වීමට ඉගෙන ගැනීම වඩාත් සුදුසු ය.