අලුත් ආණ්ඩුවේ 'ප්‍රජා ශක්ති' යනු කුමක් ද? එය සමෘද්ධියට සහ අස්වැසුමට විකල්පයක් ද?

old kitchen

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දිළිඳුකම පිටු දැකීමට, සමාජය සවිබල ගැන්වීමට මෙතෙක් පැවති ආණ්ඩු විසින් වැඩසටහන් කිහිපයක් ම ක්‍රියාත්මක කරන ලදී.

එම වැඩසටහන් අතර 'ජන සවිය' වැඩසටහන, 'සමෘද්ධි' ව්‍යාපාරය කැපී පෙනුණු අතර දේශපාලනඥයන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ බැවින් දේශපාලන බල පෙරළි සමග එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ද වෙනස් විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයට පත්වූ විට, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ආරම්භ කළ 'ජනසවිය' වැඩසටහන නතර කර 'සමෘද්ධි' ව්‍යාපාරය ආරම්භ කළා ය.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ 'අස්වැසුම' නමින් වැඩසටහනක් ආරම්භ කෙරිණි.

මේවාට ජනතාව තෝරා ගැනීමේදී නිවසට උළු හෝ ඇස්බැස්ටස් සෙවිලි කර නොතිබීම, නිවසේ බිම කොන්ක්‍රීට් කර හෝ ටයිල් අල්ලා නොතිබීම හෝ පවුලේ සාමාජිකයෙකු රජයේ සේවයට අනුයුක්තව නොසිටීම ආදී නිර්ණායක සලකා බැලෙයි.

දිළිඳුකම පිටුදකින වැඩසටහන් අතර වැඩි වූ ප්‍රතිලාභීන්

මෙම වැඩසටහන්වල අරමුණ දුගීභාවය තුරන් කිරීම බවට අර්ථ දැක්වුව ද, මෙතෙක් සිදුව ඇත්තේ වසරින් වසර මේ සඳහා එක්වන 'දිළිඳු ජනතාවගේ' ගණන වැඩිවීම බව ඊට අදාළ වාර්තා නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

වත්මන් ආණ්ඩුව ද මෙරට දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්විමේ අරමුණ ඇතිව නව වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එය 'ප්‍රජා ශක්ති' ලෙස නම් කර තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගතව 'පොහොසත් රටක් – සුරක්ෂිත ජීවිතයක්' යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් 'ප්‍රජා ශක්ති' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමති උපාලි පන්නිල ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව පසුගිය දිනක රජය නිවේදනයෙ කළේ ය.

පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටුදැකීමේ ශුභසාධන වැඩසටහන් මගින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙනේ.

එමෙන් ම වසර 2000 වන විට මිලියන 1.10ක් වූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව, 2010 වර්ෂය වන විට මිලියන 1.57ක් දක්වා වැඩි වී තිබිණ.

2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බව රජයේ සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි.

පවුලෙන් පවුලට සංවර්ධන සැලස්මක් හදන 'ප්‍රජා ශක්ති' යනු කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට සූදානම් වන ප්‍රජා ශක්ති වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පිළිබඳව බීබීසී සිංහල සේවය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගෙන් තොරතුරු විමසීමක් කළේ ය.

වසරකට පවුල් ලක්ෂ දෙක බැගින් වසර 5කදී පවුල් ලක්ෂ 20ක් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් එය මෙසේ පැහැදිලි කළේ ය.

"අපි තෝර ගන්න නියැදිය තමයි අස්වැසුම ප්‍රතිලාභීන් සහ කලින් සමෘද්ධිය තිබුණ අඩු ආදායම් ලාභීන්. ඒ පවුලට හදනවා සංවර්ධන සැලස්මක්. පවුලෙන් පවුලට සංවර්ධන සැලස්මක් හදනවා. ඒක හදන්නෙත් ඒ පවුලත් එක්ක කතා කරලා. එතකොට ඒගොල්ලෝ රැකියාගත කිරීම හෝ ස්වයං රැකියා නැතිනම් ඒගොල්ලන්ට පුළුවන් කර්මාන්තයක් කරන්න යොමු කරන එක තමයි ඒකෙන් කරන්නේ.

"හරක් පැටව් බෙදන, කුකුල් පැටව් බෙදන ඉතිහාසයේ කරපු විදියට නෙමෙයි. එයාලා එක්ක කතා බහ කරලා, ඔයාලාට අවුරුදු 2කින් නැතිනම් අවුරුද්දකින් මේ අස්වැසුම අපි ආපහු දෙන්නේ නෑ, ඒ නිසා ඔයාලා මෙතනින් දියුණු වෙන්න ඕනේ ඒ සඳහා මාසික ආදායම අවම රුපියල් හතලිස් දාහක්වත් ලැබෙන පවුලක් බවට පත් කිරීම තමයි ඒකේ අරමුණ."

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි මානසික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් සවිබල ගැන්වීම මෙන් ම දුරාචාරයට, මත්ද්‍රව්‍යවලට පවුල යොමු වී ඇත්නම් ඉන් වළක්වා ගැනීම, සමාජානුයෝජනය කිරීම සහ ඊට අදාළ උපදේශන ලබා දීම ද මෙම වැඩසටහන හරහා පවුල් සවිබල ගැන්විමේ ක්‍රියාවලියට ඇතුළත් වේ.

'ප්‍රජා ශක්ති' වෙනස් වෙන්නේ කොහොම ද?

මෙම වැඩසටහනට පවුල් තෝරා ගන්නා ආකාරය ද වසන්ත පියතිස්ස නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

"තෝරා ගැනීම කරන්නේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරීන් ඉන්නවා නේ, ඒගොල්ලෝ හරහා තමයි තෝරන්නේ. දැනට අස්වැසුමලාභී පිරිසෙන් කණ්ඩායමක් තෝර ගන්නවා. එතනින් පිට සමෘද්ධිය ගිය පාර ලැබිලා මේ පාර නොලැබුණ කොටස ඉන්නවා නේ ඒගොල්ලන්ගෙනුත් තෝරා ගන්නවා."

පෙර පැවති ජන සවිය, සමෘද්ධිය සහ අස්වැසුම වැනි වැඩසටහන්වලට වඩා ප්‍රජා ශක්ති වැඩසටහන වෙනස් වන්නේ කෙසේ දැයි බීබීසි සිංහල සේවය නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් විමසීය.

"ඒ හැම එකක් ම කළේ ඇත්තට ම ඒගොල්ලන්ට ජීවත් වෙන්න යමක් දුන්නා වගේ එකක් නේ වුණේ. එයාලා දුප්පත්, එයාලාට ආදායමක් නෑ, ඒ නිසා සමෘද්ධිය දෙනවා අස්වැසුම දෙනවා එහෙම නේ තිබුණේ බොහෝ වෙලාවට.

මේක අපි අනිවාර්යෙන් ම සතියකට සැරයක් ගමේ කමිටුවෙන් අධීක්ෂණය කරනවා, මාසයකට සැරයක් දිස්ත්‍රික්ක කමිටුවෙන් අධීක්ෂණය කරනවා, ඒ තෝර ගන්න පවුල් ඒ වැඩේ කරනවා ද කියලා. මාස තුනකට සැරයක් ජාතික වශයෙන් ඒ ගැන සොයා බලනවා. මේක නිරන්තරයෙන් අධීක්ෂණය වෙන, පසු විපරම් කරන අත් නොහැර යන ගමනක්."

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ රජයේ ප්‍රතිපාදනවලින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස පවසයි.

'ආර්ථිකයෙන් පිටමං කරපු ජනතාවට ආර්ථිකයට දායක වෙන්න අවස්ථාවක්'

මෙම වැඩසටහන හරහා අස්වැසුම වැඩසටහනට අදාළ නිර්ණායක ඉක්මවා යන විට අදාළ පවුල සමග සාකච්ඡා කර අස්වැසුම ලබා දීම අත්හිටුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, "ඒක කරන්නේ බලෙන් නෙමෙයි, අවබෝධයෙන්," යැයි පැවසීය.

මේ දිනවල ප්‍රජා ශක්ති වැඩසටහන පිළිබඳව අදාළ රජයේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කරමින් වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය සැලසුම් කරමින් සිටන බවත්, අයවැයෙන් මුදල් වෙන්වීමෙන් අනතුරුව එළඹෙන මැයි මාසයේ සිට වැඩසටහන ආරම්භ කළ හැකි වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"රජයේ ප්‍රධාන අරමුණ තමයි ආර්ථිකයෙන් පිටමං කරපු ජනතාව ආර්ථිකයට දායක වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ, ඒකට සූදානම් කරන්න ඕනේ ජනතාව, ඒකට මග පෙන්වන් ඕනේ. ඒ වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක ඉතා ඉක්මනින් සමාජයට දැනෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා," යැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස වැඩිදුරටත් පැවසීය.