විපක්ෂයේ කණ්ඩායම් අද නුගේගොඩට රැස්වෙන්නේ ඇයි?

    • Author, බීබීසී සිංහල

කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.

'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ' යනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම රැලිය, නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී සවස 2ට ආරම්භ වීමට නියමිතව තිබේ.

රැලියේ සංවිධාකයන් පවසන පරිදි මෙම විරෝධතා රැලිය පැවැත්වෙන්නේ හේතු 21ක් මූලික කරගෙන ය.

'සැකකටයුතු කන්ටේනර් නිදහස් කිරීම, ඉන්ධන මිල පොරොන්දු වූ පරිදි අඩු නොකිරීම, විදුලි බිල 1/3කින් අඩු නොකිරීම, 'සහල් මාෆියාව' ආරක්ෂා කිරීම, බදු බර වැඩි කිරීම, ජාතියේ අභිමානය බිඳ හෙළීම, මිතුරු සංග්‍රහය, මැති ඇමතිවරුන්ගේ වත්කම් වංචා, උපාධිධාරීන්ට සහ සුදුස්සන්ට රැකියා නොදීම, ගොවීන් අසරණ තත්ත්වයට පත්කිරීම, ජීවන වියදම් ඉහළ දැමීම, නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම, වෛරය පැතිරවීම, සියල්ල දේශපාලනීකරණය කිරීම, දේශීය සංස්කෘතිය විනාශ කිරීම, රණවිරු දඩයම, බෙදුම්වාදීන් සමග හිතවත්කම් පෑම, වංචනික ගිවිසුම්වලට එළඹීම, අසත්‍ය පැවසූ බව හෙළිවීම, රටට වැඩක් නොකිරීම සහ ඉදිරි වැඩපිළිවෙළක් නොතිබීම' යන කරුණුවලට විරෝධය පළ කිරීම මෙම රැලියෙහි අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

රැලියේ අරමුණ කුමක් ද?

මෙම රැලිය ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් බීබීසි සිංහල සේවය වෙත පැහැදිලි කළේ ය.

"මේ රැලියේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ගත්තේ මේ රටේ ජනතාවට බොහොමයක් පොරොන්දු දීලා. එක ප්‍රධාන පොරොන්දුවක් තමයි හොරු අල්ලනවා කියන එක. මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ. විශාල ව්‍යාපෘතිවල මහා දැවන්ත හොරකම් සිදුවුණා කිව්වා, ඒවා කිසිදෙයක් මේ වෙනකම් ඒ හොරකමක් ගැන කිසි ම පැමිණිල්ලක්වත් නෑ. ඒ වගේ ම ජනතාවට මහා සහන ගොඩක් දෙනවා කිව්වා, විදුලි බිල අඩු කරනවා කිව්වා, කාංචන ගත්ත කොමිස් මුදල අඩු කරලා 150ට පෙට්‍රල් ලීටරය දෙනවා කිව්වා, හාල් මාෆියාව නැති කරනවා කිව්වා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය බද්දෙන් නිදහස් කරනවා කිව්වා, ආදායම් බදු අඩු කරනවා කිව්වා මේ ආකාරයෙන් මහා විශාල පොරොන්දු තොගයක් දුන්නා. ඒ එක පොරොන්දුවක්වත් අමතක වෙච්ච ගාණට ආණ්ඩුව වැඩ කරනවා. ඉතින් අපි ආණ්ඩුවට මතක් කර දෙන්න ඕනේ ඔබලා වෙච්ච පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරන්න කියන දේ, ඒක මතක් කිරීම පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කිරීමේ අයිතිය ක්‍රම ක්‍රමයෙන් නැති කරමින් පවතිනවා, අන්න ඒකට විරුද්ධව හඬක් නැගීම," යැයි මහ ලේකම්වරයා පැවසීය.

"රටේ විශාල මතයක් ගොඩනැගීගෙන යනවා මේ ආණ්ඩුව අසීමිත බොරු කියපු, වැඩ කරන්න බැරි, වැඩ බැරි ආණ්ඩුවක් බවට. ඒ ආණ්ඩුව අවදි කරවන්න, ආණ්ඩුවට මතක් කරලා දෙන්න විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරනවා," යැයි රැලිය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

රැලියට කොපමණ ජනතාවක් අපේක්ෂා කරන්නේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයාගෙන් විමසූ අතර, "ඒක අපි ඉතින් හෙට ආවාට පස්සේ බලමු. අපිට කලින් ආණ්ඩුව කොටු ගහලා කියයි රටට ආපු ප්‍රමාණය," යැයි සාගර කාරියවසම් කියා සිටියේ ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රැලියට එනවා ද?

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ රැලියට සහභාගීවීම සම්බන්ධව මහ ලේකම් සාගර කාරියවසම් නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළ අතර, හිටපු ජනාධිපතිවරයා මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ, රැලියට පැමිණීමට අපේක්ෂා කරන බවට කළ ප්‍රකාශය සිහිපත් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනක මහනුවර දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ විට "අනිවාර්යයෙන්…. අනිවාර්යයෙන්…" සහභාගි වන බව පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය වැනි පක්ෂ ගණනාවක් මෙම රැලියට සහභාගී වන බව මහ ලේකම්වරයා පැවසීය.

සමගි ජන බලවේගය සහභාගි වෙනවා ද?

"ඒක අපටත් තේරෙන්නේ නැහැ. සමහරු සහභාගී වෙන්නේ නැහැයි කියනවා, සමහරු සහභාගී වෙනවා කියනවා. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ වැඩි ම විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන්න විපක්ෂය හැටියට ඔවුන් මෙයට සහභාගී විය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ," යැයි සමගි ජන බලවේගය රැලියට සහභාගී වීම දන්වා ඇති දැයි විමසූ විට නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

නුගේගොඩ රැලියට සහභාගී නොවන නමුත් ඊට සිය පක්ෂයේ සහය හිමි වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මාධ්‍ය වෙත කියා සිටියේ ය.

"21 වෙනිදා ඒ රැස්වීම සාර්ථකව ඔවුන් පවත්වයි. අපි අපේ සහයෝගය උපරිම ලබා දුන්නා. අපි යන්නේ නෑ කියලා තීන්දුවක් ගත්තා දේශපාලන වශයෙන්. ඒ වුණාට අපි උපරිම සහයෝගයෙ දෙනවා ආණ්ඩු විරෝධී වැඩසටහන්වලට."

රනිල්ගේ සහභාගීත්වය

නුගේගොඩ රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි නොවනු ඇතැයි හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවයට සහභාගි වන හෙයින් රනිල් වික්‍රමසිංහ නුගේගොඩ රැලියට සහභාගි නොවනු ඇති බව ය.

'අපිට අපි දීපු පොරොන්දු හොඳට මතක යි' - විපක්ෂ රැලිය ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය

"කලින් කිව්වා ආණ්ඩුව පළවා හරින පළමු වෙඩි මුරය ද මොකක් ද කියලා. දැන් කියනවා පොරොන්දු මතක් කරලා දෙන්න ඕන කියලා. අපිට කවුරුත් පොරොන්දු මතක් කරලා දෙන්න ඕනේ නැහැ, අපිට අපි දීපු පොරොන්දු හොඳට මතකයි ඒ පොරොන්දු එකින් එක ඉටු කරමින් අපි ඉස්සරහට යනවා," විපක්ෂයේ රැළිය ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

"කෙකර ගාණ තරමට බිත්තරේ එච්චර සයිස් නැහැ" යැයි විපක්ෂ රැලිය ගැන අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

"අපි රැස්විම් තියෙනකොට මෙච්චර අන්දෝලනයක්, කෑ ගැහිල්ලක්, කෙකර ගෑමක් නැහැ. රැස්වීම තියෙන්න ඕනේ මේ කෙකර ගෑමේ හැටියට මුළු කොළඹ ම වැහෙන්න. බලමු අපි 21න් පස්සේ." යි අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ය.

නුගේගොඩ වාහන ගමනාගමනයට සීමා

විපක්ෂයේ රැලිය හේතුවෙන් මිරිහාන පොලිස් වසමේ රථවාහන ගමනාගමනය සීමා කරන බවට පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව 2025.11.21 දින දහවල් 2.00 සිට රැලිය අවසන් වන තෙක් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් මංසන්ධියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි ( ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටින පොලිසිය පහත විකල්ප මාර්ග භාවිත කළ හැකි බව දන්වයි.

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ධාවනය කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකි ය.

පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ධාවනය කෙරෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකි ය.

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ධාවනය වන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ධාවනය කළ හැකි ය.