ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් තෙවන පාර්ශවයකට බැරවීම ගැන අධිකරණයේදී හෙළිවූ කරුණු
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
ඇමෙරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් තෙවන පාර්ශවයකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මැයි 05 දින නියම කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන හෙයින් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්‍ෂණයක් කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට [CERT] අවසර ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ ය.
'පරිබාහිර ඊමේල් ගිණුමකින් දෙවරක් ගෙවලා'
සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව විමර්ශනයට අදාළ ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු කිරීමේදී විශ්ව තැපැල් සංගමය විසින් ඊමේල් ගිණුම් ලබා දෙන නමුත් ඊට පරිබාහිර ඊමේල් ගිණුමක් හරහා ඇමෙරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,555ක මුදලක් ගෙවා ඇති බවත්, දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ මුදල් ගෙවීම් කර ඇත්තේ අවස්ථා දෙකකදී බව ද දැනුම් දුන්නේ ය.
ඒ බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර, මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්‍ෂණයක් කිරීමට CERT වෙත අවසර දෙන්නැයි ඉල්ලීමක් කළේ ය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්‍ෂණයක් කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර දුන් අතර, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.