උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ පුද්ගලික ලේකම්වරියට බරපතළ වැඩ සහිත දඬුවම්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 02 වැනිදා) බරපතළ වැඩ සහිත වසර 16 ක් බැගින් සිර දඬුවම් නියම කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 02 වැනිදා) බරපතල වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කළේය.

ඒ, අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කරමිනි.

ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

චෝදනා මොනවා ද?

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26 කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව 'දූෂණය' නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබිණි.

මෙසේ අවභාවිතා කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 16,784 ක් බව නඩු විභාගයේදී අනාවරණය විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ චෝදනා හයක් ගොනුකර තිබූ බවයි.

ඉන් චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරු කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මෙම නඩුවේ පළමු වන විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මහජන ඡන්දයෙන් උතුරු මැද පළාත් සභාවට තේරී පත් වූ පුද්ගලයකු බව සඳහන් කළාය.

" මොහු මහජන ඡන්දයෙන් තේරී පත් වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ තරමක දුෂ්කර දිස්ත්‍රික්කයක්. එහි වැඩි වශයෙන් වාසය කරන්නේ ගොවීන්. මෙසේ දුෂ්කර ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක මහජන නියෝජිතයින් වශයෙන් තේරී පත් වී මහජන මුදල් අවභාවිතා කරමින් විත්තිකරුවන් මෙම දූෂණ ක්‍රියාවේ නිරත ව තිබෙනවා. 2012 වසරේ ඔහු විසින් අවභාවිතා කළ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 26 කට අධිකයි. එම මුදල්වල වර්තමාන වටිනාකම ඊටත් වඩා වැඩියි" යනුවෙන් සඳහන් කළ එම නීතිඥවරිය මෙම චෝදනාවල බරපතලභාවය සැලකිල්ලට ගෙන විත්තිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය 2012 වසරේ සිදුවූ වරදක් බවත් විත්තිකරුවන් නඩුව කඩිනමින් අවසන් කිරීමට පූර්ණ සහාය ලබාදී ඇති බවත් සඳහන් කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තම සේවාදායකයින්ට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා "වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මෙම සිද්ධියේදී අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. මෙම නඩුකරය තුළින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමු වන විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වූ අයෙකු වන අතර ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදුවන දූෂණ ක්‍රියාත් බලපානවා. එම නිසා මෙවැනි චෝදනා එල්ල වන මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට සිදුවෙනවා" යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට හැකියාව පවතින බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් විනිසුරුවරයා නියම කර සිටියේ ය.