ශ්‍රී ලාංකික හිමිනමකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ අපයෝජන චෝදනාව කුමක්ද?

පුජ්‍ය නාඔටුන්නේ විජිත නාහිමි

ඡායාරූප මූලාශ්‍රය, Dhamma Sarana Vihara

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන ශ්‍රී ලාංකික ස්වාමින්වහන්සේ නමකට එරෙහිව අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනාවන් ගොනු කර ඇති බව එරට මාධ්‍ය (අගෝස්තු මස 18 වෙනිදා) වාර්තා කර තිබුණි.

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිනිකොන දිග මෙල්බර්න් හි පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ වැඩවාසය කරන පුජ්‍ය නාඔටුන්නේ විජිත නාහිමිට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාව සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ වර්ෂ 1996 සිට 2004 දක්වා වූ කාල වකවානුවේ සිදුවූ බව කියන ළමා අපයෝජන සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි.

දැරියන් කිහිප දෙනෙකු අනිසි ලෙස ස්පර්ශ කළ බවට පැමිණිලි 3ක් ලැබීමෙන් අනතුරුව වික්ටෝරියා පොලිසියේ ලිංගික අපරාධ මර්දන අංශයේ නිලධාරීන් උන්වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ.

ABC නාලිකාව පවසන ආකාරයට පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේට වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13 කට මුහුණ දීමට සිදුව තිබේ.

“මෙතෙක් චෝදනා පත්‍රයක් භාරදී නැහැ”

පුජ්‍ය නාඔටුන්නේ විජිත ස්වාමින්වහන්සේට එරෙහිව මේ දක්වා අධිකරණය විසින් කිසිදු චෝදනා පත්‍රයක් භාරදී නොමැති බව ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි වෙසෙන අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකිකයෙකු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් පළමු කොට මෙම ප්‍රවෘත්තිය වාර්තාකරණයේ යෙදුණු ආකාරය සම්බන්ධයෙන් එරට වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් තුළ කුකුසක් ඇති වූ බව ඔහු සඳහන් කළේය.

"පළමුව කියන්න ඕන දේ තමයි විජිත නායක හාමුදුරුවන් පසුගිය සිකුරාදා (අගෝස්තු 18 වැනිදා) අධිකරණය හමුවට වැඩම කළා. එහිදී උන්වහන්සේට එක වචනයක් හෝ පවසන්න අවශ්‍යතාවයක් පැන නැඟුනේ නැහැ."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"එයට හේතුව අධිකරණය, පොලිස් නිලධාරින්ගෙන් උන්වහන්සේගේ නම සම්බන්ධයෙන් ඇතිව තිබු යම් ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් නිරාකරණය කර ගැනීමක් කරලා ඉන් පසුව නඩුව නොවැම්බර් මස 10 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා."

"විජිත ස්වාමින්වන්සේ ඇප තැබීමක් සිදුකර නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය නාලිකා තුනක් මේ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාකරණය සම්බන්ධව එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වශයෙන් අපිට යම් කුකුසක් තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී කුමක්ද සිදුකළ යුත්තේ කියලා අපි සාකච්ජා කරමින් සිටිනවා."

"ඒ වගේම උන්වහන්සේ වසර 30 කට අධික කාලයක් මෙල්බර්න් හි පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ වැඩ සිටිනවා. උන්වහන්සේ විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් බොහෝ කැපවී කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ නමක් කියා මෙහි ඉන්න මුළු ලාංකික ප්‍රජාවම දන්නවා."

"උන්වහන්ස‍ෙගේ ප්‍රධානත්වයෙන් තමයි අපේ පන්සලේ ඉරිදා දහම් පාසැල ආරම්භ කළේ. දහම් පාසැලේ අධ්‍යාපනය ලැබූ බොහෝ ලාංකික දරු දැරියන් අද ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වගේ හොඳ වෘත්තීය පසුබිම් වල කටයුතු කරනවා. ඒකට හේතුව ලැබූ හික්මීම සහ යහපත් උපදෙස් කියලයි මම විශ්වාස කරන්නේ. මොකද මගේ දරුවන් දෙදෙනා ගැහැණු ළමුන් දෙදෙනෙක් විදිහට උන්වහන්සෙගේ දහම් පාසැලේ අධ්‍යාපනය ලැබුවා." ඔහු පැවසුවේය.

සමාජ මාධ්‍ය සටහන්

නාඔටුන්නේ විජිත නාහිමිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබුණේ මේ අයුරින් ය.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

මේ සම්බන්ධයෙන් එක් ෆේස්බුක් සටහනක දැක්වුණේ, “මේ වගේ දේවල්වලට නිකාය භේදය පැත්තකින් තියලා පොදු නීති ක්‍රියාත්මක කරන්න ඕන.. නැත්නම් බෞද්ධ කිව්වම නින්දා විඳින්න වෙන කාලය උදා වෙයි.” යනුවෙනි.

 ෆේස්බුක් සටහන

ඡායාරූප මූලාශ්‍රය, Nawoda Walisara| Facebook

පැමිණිලි ගැනත් සැකයක්

නා ඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේට එරෙහිව පැමිණි කළ පැමිණිලිකාරියන් වසර 20 කට අධික කාලයක් ගතවන තෙක් පැමිණිලි නොකිරීම විමතිය ගෙන එන කරුණක් බව මෙල්බර්න් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේය.

ඔහු සඳහන් කළේ මෙම චෝදනාවන් තුන එකම කාල සීමාවකදී ගොනු වීම සැකයට තුඩු දෙන කරුණක් බවයි.

"යම් කිසි පිරිසකට ඇතැම් විට උන්වහන්සේව අපහාසයට ලක් කිරීමේ වුමනාවක් මත හෝ නායක ස්වාමින් වහන්සේ විහාරස්ථානයෙන් පිටමං කිරීමේ වුමනාවක් තිබෙනවාද කියලා සැකයක් ඇතිවනවා මේ සිදුවන දේවල් එක්ක."

"මේ පැමිණිලි කරන කාන්තාවන් මේ වෙද්දී වයස අවුරුදු 30 හෝ ඊට ආසන්න අයයි. මෙතරම් කාලයක් ඔවුන් නිහඬව සිටීම ගැටලු සහගතයි."

"ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන රටක්. නමුත් පැමිණිලි කරන්න වසර 20 කට අධික කාලයක් ගත කිරීම හිතා ගන්න බැහැ." ඔහු පැවසුවේය.

පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේ කියන්නේ කවුද ?

ඕස්ට්‍රේලියාවේ පිහිටි බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමියන් ස්වීඩනයේ සිට ඕස්ට්‍රේලියාව බලා වැඩම කර තිබේ. ඒ , 1994 වර්ෂයේ මුල් භාගයේදීය.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රීන්වේල් හි පිහිටි විහාරස්ථානයට නාඔටුන්නේ විජිත නායක හිමියන් වැඩම කිරීමට පෙර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර ඇත්තේ අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය.

නාඔටුන්නේ විජිත නාහිමියන් ඕස්ට්‍රේලියාවට වැඩම කිරීමට පෙර ස්වීඩ්න්, ස්ටෝක්හෝම් හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ වසර 07 ක කාලයක් විහාරාධිපති හිමියන් ලෙස වැඩ සිට ඇත.

බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය ගැන ඇතිවූ උනන්දුව මත වයස අවුරුදු 15 දී තමන්වහන්සේ පැවිදි දිවියට එළඹුණු බව වරක් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව තමන්වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත් විශ්ව විද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකු පසුව ස්වීඩනය බලා ගොස් සිටි නිසා ඔහුගේ ආරාධනයකට අනුව තමන්වහන්සේ එහි වැඩම කොට ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක් ධර්මදූත සේවාවේ යෙදුණු බවත් උන්වහන්සේ එම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසූහ.

පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක හිමියන්ට සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා චතුර ලෙස හැසිරවීමට හැකිය.

බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම උදෙසා ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් 2003 වසරේදී නාඔටුන්න විජිත හිමියන්ට ගෞරව නාමයක් පිරිනමා තිබිණි.

එමෙන්ම 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පුජ්‍ය නාඔටුන්න විජිත නායක හිමියන් පත් කරනු ලැබුවේ අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසිනි.

අදහස් දැක්වීමක් නොකරන ලෙස විහාරස්ථාන දායක සභාවෙන් උපදෙස්

මේ අතර පුජ්‍ය නාඔටුන්නේ විජිත ස්වාමින්වහන්සේට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් අදහස් විමසීමට බීබීසි සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර පිහිටි ධම්ම සරණ විහාරස්ථානය සමග දුරකථනයෙන් සම්බන්ධ විය.

ඊට පිළිතුරු දෙමින් එම විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් බීබීසි සිංහල වෙත පැවසුවේ මේ සම්බන්ධව නීතිමය කටයුත්තක් පවතින බැවින් ඒ ගැන අදහස් දැක්වීමක් නොකරන ලෙස විහාරස්ථාන දායක සභාවෙන් උපදෙස් දුන් බවය.