ඉන්දීය පිරිමි සිය ගණනක් ඇන්දූ 'කතුන් ගැබ් ගැන්වීමේ' වංචාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
සයිබර් අවකාශයේ නිරන්තරයෙන් වංචා සිදු වුව ද, මෙය තරමක් වෙනස් ආකාරයේ වංචාවකි.
දෙසැම්බර් මස මුලදී ෆේස්බුක්හි ඉහළ පහළ යමින් සිටි මංගේෂ් කුමාර්ට (නම වෙනස් කර ඇත) "All India Pregnant Job Service" හි වීඩියෝවක් දිස් වන අතර ඔහු එය නැරඹීමට තීරණය කරයි.
එම රැකියාව විශ්වසනීය එකක් නොවන බවට පැහැදිලි වන්නේ, එය කාන්තාවක ගැබ් ගැන්වීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් පිරිනමන බැවිනි.
ඇත්තෙන් ම, එය සත්‍යයක් බව පිළිගැනීමට අපහසු ය. මේ වන විට, මංගල උත්සව සැරසිලි සමාගමක සේවය කරමින් මසකට රුපියල් 15,000ක් (ඩොලර් 180; පවුම් 142) උපයන 33 හැවිරිදි මංගේෂ් දැනටමත් වංචාකරුවන්ට හසු වී රුපියල් 16,000ක් අහිමි කර ගෙන සිටින අතර ඔවුහු [වංචාකරුවන්] ඔහුගෙන් තවත් මුදල් ඉල්ලා සිටිති.
උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෙසෙන මංගේෂ් මෙම වංචාවට හසු වූ එක ම පුද්ගලයා නොවේ.
බිහාර් ප්‍රාන්තයේ නවාඩා දිස්ත්‍රික්කයේ සයිබර් අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස් අධිකාරි කල්‍යාන් ආනන්ද් බීබීසීයට පැවසුවේ, ඉහළ වැටුපක් ලබා දෙන බවට සහ දරුවන් නොමැති කාන්තාවක සමග හෝටලයක රාත්‍රියක් ගත කිරීමට අවස්ථාව දෙන පොරොන්දුවට ඉතා පහසුවෙන් රැවටෙන පිරිමි පුද්ගලයින් පොළඹවාගෙන ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගන්නා මෙම සූක්ෂම වංචාවට ගොදුරු වූවන් සිය ගණනක් සිටින බව ය.
මේ වන විට ඔහුගේ කණ්ඩායම පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන, ජංගම දුරකතන 9ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් භාරයට ගෙන ඇති අතර තවත් 18 දෙනෙකු සොයමින් සිටී.
නමුත් වින්දිතයන් සොයා ගැනීම වඩා ත් අභියෝගාත්මක ය.
"මේ කල්ලිය අවුරුද්දක් තිස්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා, මේ අය මිනිස්සු සිය ගණනක් රවට්ටන්න ඇති කියලා. ඒත්, ඒ කිසි කෙනෙක් මේ වනතුරු ඉදිරිපත් වෙලා නැහැ මේ ගැන පැමිණිලි කරන්න. සමහර විට ලැජ්ජාව නිසා වෙන්න ඇති," ඔහු පැහැදිලි කරයි.
වින්දිතයින් දෙදෙනෙකු සමග කතා කිරීමට බීබීසීය හැකි විය. ඉන් එක් අයෙකු පැවසුවේ, තමන්ට රුපියල් 799ක් අහිමි වූ බව ය. නමුත් ඒ ගැන වැඩි විස්තර කතා කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. මංගේෂ් නොපැකිළිව ඉදිරිපත් වූ අතර ඔහු සමග යෙදුණු දුරකතන සංවාද කිහිපයේදී ඔහු වංචාකරුවන්ගේ ගොදුරක් බවට පත් වූ ආකාරය හෙළි කළේ ය.
"වීඩියෝ එක ක්ලික් කරලා විනාඩි 10කට පස්සේ මගේ ෆෝන් එක රිංග් වුණා. ඒ කතා කරපු මනුස්සයා මට කිව්වා ජොබ් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ නම්, රුපියල් 799ක් ගෙවන්න කියලා," ඔහු මා හා පැවසීය.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇමතුම ලබා දුන් පුද්ගලයා (මංගේෂ් ඔහු හැඳින් වූයේ සංදීප් සර් නමිනි) ඔහු හා පැවසුවේ, ඔහු මුම්බායිහි සමාගමක සේවය කරනු ඇති බවත්, රැකියාව භාර ගත් පසු ගැබ් ගැන්වීමට අවශ්‍ය කාන්තාව පිළිබඳ විස්තර ඔහු වෙත ලැබීමට සලස්වන බව ත් ය.
අදාළ කාන්තාව සමග ලිංගිකව හැසිරීම සඳහා පමණක් ඔවුහු ඔහුට ඔහුට රුපියල් මිලියන භාගයක මුදලක් (වසර තුනකට ආසන්න වැටුපක්) ගෙවන බවට ත් ඇය ගැබ් ගතහොත් තවත් රුපියල් ලක්ෂ 8ක මුදලක් ලබා දෙන බවට ත් පොරොන්දු වූහ.
"මම දුප්පත් මනුස්සයෙක්. දැඩි මුදල් අවශ්‍යතාවක හිටපු නිසා මම ඔවුන්ව විශ්වාස කළා," කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු මා හා පැවසීය.
ඉන් පසු එළඹි සති දෙක තුළදී, [ඔවුන්] මංගේෂ්ගෙන් රුපියල් 16,000කට වැඩි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. එනම්, අධිකරණ ලියකියවිලි ලබා ගැනීම සඳහා රුපියල් 2,550ක්, ආරක්ෂක තැන්පතුවක් ලෙස රුපියල් 4,500ක් සහ ඔහුට හිමි වීමට යන මුදල් වෙනුවෙන් භාණ්ඩ හා සේවා බද්ද (GST) ලෙස රුපියල් 7,998ක් ඒ අතර විය.
ඔහු සියලු රිසිට්පත් සහ ව්‍යාජ අධිකරණ ලියකියවිලි මා වෙත ලැබීමට සැලැස්වීය. නිල ලේඛනයක් ලෙස දිස් වූ ඉන් එකක ඔහුගේ නම සහ ඔහුගේ ඡායාරූපයක් මෙන් ම පොලිස් නිල ඇඳුමින් සැරසී සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් විය. එහි ඉහළට වන්නට විශාල අකුරින් "Baby Birth Agreement" සහ පැහැදිලි ලෙස "pregnancy verification form" යන්න මුද්‍රණය කර තිබිණි.
ලේඛනයේ අවසානයේ ඇති අත්සන එක්සත් ජනපද රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නියක (talk show host) වන ඔප්රා වින්ෆ්‍රේ විසින් භාවිත කරන ලද අත්සනකට සමාන වේ.
"කාන්තාවන් හත් අට දෙනෙකුගේ" ඡායාරූප ඔහු වෙත එවීමෙන් වංචාකරුවන් ඔහුගේ උනන්දුව නොඅඩුව පවත්වා ගත් අතර, ඒ අතරින් ඔහු ගැබ් ගැන්වීමට කැමති කාන්තාව තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. "ඒ අය මට කිව්වේ, මම ජීවත් වෙන නගරයේ තියෙන හොටෙල් එකක කාමරයක් බුක් කරනවා, මට එතැනදී ඒ කාන්තාව හම්බ වේවි කියලා," ඔහු පැවසීය.
පොරොන්දු වූ මුදල් දිගින් දිගට ම ඉල්ලා සිටි විට, ඔවුන් මංගේෂ්ගේ බැංකු ගිණුමට රුපියල් 512,400ක් බැර කළ බව කියමින් රිසිට්පතක් එවන්නේ, එම මුදල් ලබා ගැනීමට හැක්කේ ආදායම් බදු ලෙස 12,600ක් ගෙවීමෙන් පසු බව පවසමිනි.
ඒ වන විට මුළු මාසයේ ම වැටුප තමන් ඒ වෙනුවෙන් වැය කර තිබුණු බව පවසන මංගේෂ් තවදුරටත් තමන්ට මුදල් ගෙවීමට නොහැකි බව ත් ගෙවූ මුදල් ආපසු ලබා දෙන ලෙස ත් ඔවුන්ට පවසයි.
"ඒත් සංදීප් සර් ඒක ප්‍රතික්ෂේප කළා. මට තරහ ගියා ම එයා මට කිව්වේ, මගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ පහක බැර මුදලක් තියෙන නිසා ආදායම් බදු නිලධාරීන් මගේ නිවස වටලලා මාව අත්අඩංගුවට ගනීවි කියලා.
"මම දුප්පත් කම්කරුවෙක්, මාසෙක පඩියත් නැති වෙලා හිටපු මට ඕනේ වුණේ නැහැ මොන විදිහකවත් අපරාධකයට පැටලෙන්න. මම කොච්චර බය වෙලා ද හිටියේ කියනවා නම්, දවස් 10ක් මගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ. මම ඒක ආයෙත් ඕන් කළේ දවස් කීපයකට කලින්," යැයි ඔහු මා හා පැවසුවේ, මුලදී ඔහු මා ද වංචාකරුවන්ගේ කල්ලියට සම්බන්ධ යැයි සිතූ බව පවසමිනි.
ඩීඑස්පී ආනන්ද්ට අනුව, මෙම වංචාව පිටුපස සිටින පුද්ගලයින් ජංගම දුරකතන, ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර මගින් වැඩකටයුතු කර ගැනීමට හොඳින් දන්නා, ඇතැමෙකු උපාධි පවා ඇති උගත් පිරිසක් බව ය. එසේ වුව ද ඉන්දියාව පුරා සිටින මෙම වංචාවට ගොදුරු වූ බොහෝ දෙනෙකුට ඇත්තේ, අඩු අධ්‍යාපනයකි.
"සංදීප් සර්" තමන් ඉන්දියානු හමුදා සෙබළෙකු ලෙස හඳුන්වමින් හැඳුනුම්පතක් ඇතුළු ඔහුගේ හැඳුනුම්පත්වල පිටපත් තමා වෙත එවා තිබූ බැවින් මෙය රැවටීමක් විය හැකි යැයි තමාට නොහැඟුණු බව මංගේෂ් පවසයි. සිත්ගන්නාසුලූ විදේශීය කාන්තාවක අලුත උපන් බිළිඳෙකු තම ඇකයේ හොවාගෙන සිටින අයුරු දැක්වෙන, ඔහුගේ [සංදීප් සර්ගේ] වට්ස්ඇප්හි 'display photo' එක අව්‍යාජ බවට ද ඔහු විශ්වාස කළේය.
"ඔයා මට කියන්න, කොහොම ද ඒ පින්තූරේ විශ්වාස නොකර ඉන්නේ කියලා," ඔහු විමසයි.

ගැටලුව වන්නේ, බොහෝ දෙනෙකු තම ආරක්ෂාව පිළිබඳව අධික විශ්වාසයකින් පසුවීම ය. එනම්, සයිබර් නීති විශේෂඥ පවන් දුගල් පැහැදිලි කරන පරිදි, ඉන්දියාවේ මිනිසුන්, "විශාල වශයෙන් ඉන්ටර්නෙට්හි තියෙන තොරතුරු විශ්වාස කරනවා, හරි ම කලාතුරකින් තමයි ස්වාධීනව ඒවායේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ."
කෙසේ වෙතත්, ඔහු පවසන්නේ, නවාඩාහි සිදු වූ මෙම වංචාවේ ක්‍රමවේදය, "ඉතා නව්‍ය" බව ය.
"මාරාන්තික සංකලනයක් වෙන නොමිලේ මුදල් සහ නොමිලේ ලිංගික සම්බන්ධයක් පවත්වන්න අවස්ථාවක් ලැබීම කියන පොරොන්දුව දීලා වංචාකරුවන් ඔවුන්ව පොළඹවා ගත්තා. මෙවැනි අවස්ථාවලදී, විචක්ෂණභාවය බොහෝ විට පසුපසට යනවා."
නමුත් කොවිඩ්-19 පැමිණීමත් සමග එනම්, සෙලියුලර් සහ ඉන්ටර්නෙට් බැංකුකරණය සාමාන්‍ය දෙයක් බවට පත් වීමත් සමග "සයිබර් අපරාධවල ස්වර්ණමය යුගය ආරම්භ වූ" බව පවසන දුගල් "එය දශක ගණනාවක් පවතිනු ඇතැයි" අනතුරු අඟවයි.
සයිබර් අපරාධකරුවන් නව, නව්‍යකරණය කර සහ වඩා ත් අවස්ථානුකූලව වෙනස්කම්වලට භාජනය කර මුදල් වැනි දීමනා ලබා දෙන විට මංගේෂ් වැනි පුද්ගලයින් වංචාකරුවන්ගේ ගොදුරු බවට පත්වීමෙන් ආරක්ෂා කිරීමට ඉන්දියාවට දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් පවසයි.
"ජනතාව රජය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන නිසා රේඩියෝ හා රූපවාහිනී විකාශන හරහා දැනුවත් කරන්න රජය තවත් බොහෝ දේ කළ යුතු යි."
නමුත් බිලියන 1.4ක් වන ඉන්දියාවේ ජනතාව අතරට රජයට පමණක් ළඟා විය නොහැක.
"ජනගහනය වැඩි වෙමින් තියෙන්නේ. රජය මත විතරක් යැපෙන එකෙන් ලොකු කාලයක් ගත වෙනවා වගේ ම ඒක ආර්ථිකයත් දිගින් දිගට ම පීඩාවට ලක් කරනවා. ඒ නිසා රජය මේකට සම්බන්ධ වෙන්න කියලා පෞද්ගලික අංශය දිරි ගැන්විය යුතුයි," ඔහු පවසයි.
මේ අතර, වංචනිකයින් තවමත් මංගේෂ්ව අත්හැර නැත.
ඉකුත් සතියේ මා සමග දුරකතනයෙන් සම්බන්ධ වී සිටි අවස්ථාවේ ඔහු ඔහු එකවර ම ඇමතුම විසන්ධි කළේ, "මැඩම්" අමතනවා යනුවෙන් පවසමිනි. ඔහු ඒ ගැන පසුව මා වෙත පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කළේ, ඒ, ඔහු හමුවන බවට පොරොන්දු වී සිටි කාන්තාව බව ය.
තමන් දිනපතා ම පාහේ ඇය සමග කතා කරමින් සිටි බව ඉරිදා රාත්‍රියේ ඔහු මට පැවසුවේ ය.
ඇය දැන් ඔහුට පවසන්නේ, සැබෑ වංචාකාරයා "සන්දීප් සර්" බව ත්, ඔහු මංගේෂ්ට පොරොන්දු වූ රුපියල් ලක්ෂ 5න් වැඩි ප්‍රමාණයක් සොරා ගෙන ඇති බව ත් ය. නමුත් ඔහු භාණ්ඩ හා සේවා බදු ලෙස රුපියල් 3,000ක් ගෙවුවහොත් ඔහුට තවමත් රුපියල් 90,000ක් ගැනීමට හැකියාව ඇති බව ඔහු පවසයි.
"මම ඇයට කිව්වා මම සතේට ම හිඳිලා කියලා. මගේ සල්ලි දෙන්න කියලා මම වැඳලා කිව්වත් ඇය කිව්වේ, ඒක කරන්න බැරි දෙයක් කියලා. අඩු ම ගාණේ රුපියල් 10,000ක්වත් ආපහු දුන්නා නම්, ඔහු මා හා පැවසීය.
තවමත් වංචාකරුවන් විශ්වාස කරන්නේ දැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.
"මම දන්නේ නැහැ ඇත්තට ම දැන් මොකක් ද කරන්න ඕනේ කියලා. මට මගේ මුළු මාසෙ ම පඩිය නැති වෙලා තියෙන්නේ. බිහාර්වල ඉන්න මගේ ගෙදර අයට කීයක්වත් යවා ගන්න මට බැරි වෙලා ඉන්නේ. මගේ බිරිඳ හොඳට ම තරහින් ඉන්නේ, මාත් එක්ක කතා කරන්නෙවත් නැහැ."
"සන්දීප් සර්" තව දුරටත් ඔහුගේ ඇමතුම් නොගැනීම ගැන ඔහු සිටින්නේ කෝපයෙනි.
"මාව රවට්ටපු අයට උපරිම දඬුවම් දිය යුතුයි. රුපියල් 500ට මම දවස ම කොන්ද කැඩෙනකම් වැඩ කරනවා. මම දන්නවා මගේ අතින් ලොකු වැරැද්දක් වුණා කියලා. ඒත් එයාලා මට කරපු දේ හරි ම වැරදියි."












