ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන් චිත්‍රපට උළෙල: ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති වැදගත් කරුණු 5 ක්
- Author, පෝල් ග්ලින්
- Role, පෝල් ග්ලින්
- Author, ඉයන් යන්ග්ස්
- Role, සංස්කෘතික පුවත් වාර්තාකරු
අඟහරුවාදා (මැයි 14) ආරම්භ වූ මෙම වසරේ කාන් චිත්‍රපට උළෙලේදී රතු පලස මතින් ස්කාර්ලට් ජොහැන්සන්, ජෙනිෆර් ලෝරන්ස් සහ ටොම් කෲස් වැනි හොලිවුඩ් තරු ගමන් කරනු දැකීමට සිනමා රසිකයෝ අපේක්ෂාවෙන් පසුවූහ.
කාන් යනු චිත්‍රපට දින දර්ශනයේ ඇති වඩාත් ම කීර්තිමත් උළෙලකි. බොහෝ විශිෂ්ඨ සිනමා නිර්මාණ එහි පළමු වරට ප්‍රදර්ශනය කෙරෙන අතර එම චිත්‍රපට බොහෝ විට ඉතා සාර්ථක වී පසුව සම්මාන දිනා ගනිමින් පැසසුම්වලට ද ලක්වේ.
1. ලබන වසරේ ඔස්කාර් සම්මාන දිනා ගැනීමට ඉඩ ඇති චිත්‍රපට දැක ගන්න ලැබෙන පළමු අවස්ථාව
මෑත වසරවලදී, කාන් සම්මාන උළෙල සම්මානලාභී චිත්‍රපට ප්‍රථම වරට ලොවට පෙන්වන වේදිකාව ලෙස නැවත නම් දිනා ඇත.
පසුගිය මැයි මාසයේදී කාන්හිදී Palme d'Or සම්මානය දිනාගත් අනෝරා (Anora) චිත්‍රපටය, මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තෙය් ය. පසුගිය Palme d'Or සම්මානලාභී චිත්‍රපට පහෙන් හතරක් ම හොඳ ම චිත්‍රපටය සඳහා නිර්දේශ විය.
මෙම වසරේ ජූරි සභාව ප්‍රංශ සිනමා තරුවක් වන ජුලියට් බිනෝෂ් විසින් මෙහෙයවනු ලබන අතර සෙසු නළු නිළියන් වන හාලී බෙරී සහ ජෙරමි ස්ට්‍රෝං ද ඊට ඇතුළත් වේ.
මෙම වසරේ Palme d'Or සම්මානය සඳහා තරග කරන චිත්‍රපට අතරට අරියානා හාර්වික්ස් ගේ 'Die My Love' නවකතාවේ අනුවර්තනයක් වන ස්කොට්ලන්ත චිත්‍රපට අධ්‍යක්ෂ ලින් රැම්සිගේ චිත්‍රපටය ඇතුළත් වේ. එහි ලෝරන්ස් සහ රොබට් පැටින්සන් රංගනයෙන් දායක වෙති.
'චැලෙන්ජර්ස්හි' (Challengers) ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස ත්, 'ද ක්‍රවුන්හි' (The Crown) චාල්ස් කුමරු ලෙස ත් රඟ දැක්වූ ඉංග්‍රීසි නළු ජොෂ් ඕ'කෝනර් තරගවදින චිත්‍රපට දෙකක රංගනයෙන් දාකය වෙයි. පෝල් මෙස්කල් සමග රංගනයෙන් දායක වන 'ද හිස්ට්‍රි ඔෆ් සවුන්ඩ්' The History of Sound සහ ආධුනික කලා සොරෙකු ලෙස රංගනයෙන් දායක වන 'ද මාස්ටර්මයින්ඩ්' (The Mastermind) එම චිත්‍රපට වේ.
කාන් උළෙලේ තරගවදින වෙස් ඇන්ඩර්සන්ගේ නව චිත්‍රපටය වන 'ද ෆීනීෂියන් ස්කිම්' (The Phoenician Scheme) ජොහැන්සන්, බෙනීසියෝ ඩෙල් ටොරෝ, ටොම් හැන්ක්ස් සහ බෙනඩික්ට් කම්බර්බැච් යන නළු නිළියන් මෙන් ම රිස් අහමඩ්, බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ රිචඩ් අයොවාඩි ද රංගනයෙන් දායක වන තරු පිරිවරා ගත් චිත්‍රපටයකි.
හෝකින් ෆීනික්ස් සහ එමා ස්ටෝන්, අරී ඇස්ටර් විසින් අධ්‍යක්ෂණය කරන ලද වසංගත සමයේ 'ඩාක් කමඩි' බටහිර චිත්‍රපටයක් වන එඩින්ටන්හි (Eddington) රංගනයෙන් දායක වෙති.
අධ්‍යක්ෂ රිචඩ් ලින්ක්ලේටර්ගේ නුවෙල් වෑග් (Nouvelle Vague) චිත්‍රපටයෙන්, මුල් පිටපතට සමාන ශෛලියකින් සහ ජීවයකින් යුතුව, 1960දී ෂෝන් ලුක් ගොඩාහ් සම්භාව්‍ය බ්‍රෙත්ලස් චිත්‍රපටය නිර්මාණය කිරීමේ කතාව පැවසේ.
2. හොලිවුඩ් තරු අධ්‍යක්ෂවරුන් බවට පත්වීම
බ්ලැක් විඩෝ චරිතයට පණ පෙවූ ජොහැන්සන් කැමරාව පිටුපසට පැමිණ ඇති අතර ඇයගේ මංගල අධ්‍යක්ෂණය වන 'එලිනෝර් ද ග්‍රේට්හි' (Eleanor the Great) මංගල දර්ශනය පැවැත්වීමට නියමිත ය. අනපේක්ෂිත ලෙස අවධානයට ලක්වන 94 හැවිරිදි කාන්තාවක පිළිබඳ කතා පුවතක් එහි දැක්වේ.
ඇමෙරිකානු නිළි ක්‍රිස්ටින් ස්ටුවර්ට් ද ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වන ද 'ක්‍රොනොලජි ඔෆ් වෝටර්' (The Chronology of Water) ද මෙහි තිරගත වනු ඇත. එය ලේඛිකා ලිඩියා යුක්නවිච්ගේ එම නමින් ම ඇති මතක සටහන් ඇතුළත් කෘතියෙන් අනුවර්තනය කරන ලද්දකි.
මේ අතර, බ්‍රිතාන්‍ය තරුවක් වන හැරිස් ඩිකින්සන් කැමරාව පිටුපස කාර්යයට උර දෙන තවත් නළුවෙකු වන අතර, අර්චින් (Urchin) නමැති ඔහුගේ චිත්‍රපටය ලන්ඩනයේ තම ජීවිතය ආපසු හැරවීමට අරගල කරන නිවසක් අහිමි පුද්ගලයෙකුගේ කතාව කියයි.
ඔවුන්ගේ චිත්‍රපට සියල්ල චිත්‍රපට උළෙලේ Un Certain Regard ද්විතීයික කාණ්ඩයේ තරග කරනු ඇත.
3. අවධානයට ලක්වන ප්‍රසිද්ධ නම්
සිනමා උළෙලේ තවත් අංශයක රොබට් ඩි නීරෝ සිනමාවේ උන්නතිය වෙනුවෙන් කළ සේවයට පිදෙන Palme d'Or සම්මානය අතැතිව සිටිනු ඇත.
ඩෙන්සල් වොෂින්ටන් සමග ස්පයික් ලී ගෙන එන සිය පස්වන චිත්‍රපටය වන 'හයස්ට් 2 ලෝවස්ට්' (Highest 2 Lowest) චිත්‍රපටය චිත්‍රපට උළෙලේ තරග නොකෙරුව ද එහි මංගල දර්ශනය එහිදී සිදුවනු ඇත. එය ජපන් චිත්‍රපට නිර්මාණකරුවෙකු වන අකිරා කුරොසාවාගේ 1963 තිරගත වුණු අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන "නූතන නිව් යෝර්ක් නගරයේ අපරාධවලින් පිරිණු වීදිවල දිග හැරෙන" 'හයි ඇන්ඩ් ලෝ හි' (High and Low) නව අනුවාදයකි.
තරගයට සහභාගී වීමකින් තොරව ප්‍රදර්ශනය කෙරෙන ප්‍රංශ භාෂා හාස්‍යජනක චිත්‍රපටයක් වන 'වී ප්‍රිවී' Vie Privée (A Private Life) හි ජෝඩි ෆොස්ටර් ඇගේ රෝගියෙකු ඝාතනය කිරීම විමර්ශනය කරන මනෝචිකිත්සකවරියකගේ චරිතය නිරූපණය කරයි.
තව ද ටොම් කෲස් මිෂන් ඉම්පොසිබල්හි (Mission: Impossible) අවසාන කොටසේ මංගල දර්ශනයට සහභාගී වනු ඇත.(ඔහු ආරාධනය පිළිගැනීමට තෝරා ගන්නේ නම්)
4. ගාසා වාර්තා චිත්‍රපට
මෙම වසරේ කැපී පෙනෙන වාර්තා චිත්‍රපට අතරට Put Your Soul On Your Hand And Walk ඇතුළත් වේ. එහි පසුගිය මාසයේ ගාසා තීරයේ නිවසකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් සිය පවුලේ අය සමග මිය ගිය පලස්තීන යුද්ධ ඡායාරූප මාධ්‍යවේදිනියක් වන ෆාතිමා හසූනා ගැන කියැවේ. ඒ චිත්‍රපට උළෙලේ උත්සවය සිය චිත්‍රපට පෙළගැස්ම නිවේදනය කළ දිනට පසු දින ය.
ඇගේ මරණය පිළිබඳ කෝපය මෙම සිනමා නිර්මාණය කෙරෙහි උනන්දුව වැඩි කර තිබේ.
පලස්තීන නිවුන් සහෝදරයින් වන ටාසන් සහ ඇරාබ් නාසර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇති තවත් චිත්‍රපටයක් වන 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ගාසා' (Once Upon a Time In Gaza), Un Certain Regard අංශයේ තිරගත කෙරෙනු ඇත.
මෙම වාර්තා චිත්‍රපට පෙළගැස්මේ අනෙකුත් වාර්තා චිත්‍රපට අතරට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් පිළිබඳ කියැවෙන බොහෝ දෙනෙක් බලා සිටි චිත්‍රපටයක් වන 'ද සික්ස්-බිලියන්-ඩොලර් මෑන්' (The Six-Billion-Dollar Man) ඇතුළත් වන අතර එය මෙම වසර මුලදී සන්ඩෑන්ස් චිත්‍රපට උළෙලෙන් ඉවත් කෙරිණි.
මේ අතර, 1984 නවකතාකරුවෙකු වූ ජෝර්ජ් ඕවල් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සමගින්, U2 සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිලිපියා වූ බෝනෝ පිළිබඳ වාර්තා චිත්‍රපට උළෙලේ අන්තර්ගත වේ.
#MeToo
ජෙරාඩ් ඩෙපාර්ඩියුගේ ලිංගික අපයෝජන නඩු විභාගයේ තීන්දුව පැමිණීමෙන් ආරම්භක දිනය අවධානයෙන් ගිලිහී ගියා විය හැකි ය.
76 හැවිරිදි ප්‍රංශ සිනමාවේ ජාත්‍යන්තර තරුව, 2021දී චිත්‍රපට රූගත කිරීමකදී කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාවට වරදකරු විය.
චිත්‍රපට කර්මාන්තය තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගැටලුව උණුසුම් මාතෘකාවකි. ප්‍රංශ පාර්ලිමේන්තු පරීක්ෂණයකදී පසුගිය මාසයේ එම ක්ෂේත්‍රයට "ආවේණික" මෙම අපයෝජනය විවේචනයට ලක් වුණු අතර, සඳුදා සිනමා තරුවක වන බ්‍රිජිට් බාර්ඩෝ ඩෙපාර්ඩියු ඇතුළු චූදිත නළුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටියේ "ඔවුන්ගේ ජීවිත සමග ඉදිරියට යාමට" ඉඩ දිය යුතු බව පවසමිනි.
කාන් චිත්‍රපට උළෙලේදී අවධානයට ලක් වන බාහිර ගැටලු ඒවා පමණක් නොවේ.
විදේශීය නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100%ක තීරු බදු පැනවීමේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම පිළිබඳව චිත්‍රපට තරු සහ එහි බලවතුන්ට රතු පලස මතදී වචනයක් හෝ දෙකක් පැවසීමට තිබෙනු ඇත.
ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රෂීඩා ඩාටි මෑතකදී පැවසුවේ, එවැනි ඕනෑ ම තීරුබදු පැනවීමක් "අපගේ නොව ඇමෙරිකානු කර්මාන්තය රිදවීමට" හේතු වන බවයි.