'සාම්ප්‍රදායික මව් පදවියට අභියෝග කළ' ඇම්බර් හර්ඩ් මව්වරුන්ගේ දිනයේ සටහනක් තබමින් නිවුන් දරු ප්‍රසූතියක් නිවේදනය කරයි

    • Author, ලුසී ක්ලාර්ක්-බිලිංස්
    • Role, බීබීසී

මව්වරුන්ගේ දිනයේදී තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඇමෙරිකානු රංගන ශිල්පිනී ඇම්බර් හර්ඩ් නිවුන් දරු ප්‍රසූතියක් නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු රංගන ශිල්පිනිය හෙළි කළේ, ඇය සිය දියණිය ඇග්නස් සහ පුත් ඕෂන් ප්‍රසූත කළ බවත් ඇගේ පවුල "පරිපුර්ණත්වයට පත්වීම" සැමරීම සම්බන්ධයෙන් "වචනවලින් කිව නොහැකි තරම් සතුටු වූ" බවත් ය.

39 හැවිරිදි හර්ඩ්, සිය පළමු දියණිය වන ඌනා ප්‍රසූත කළේ, 2021 වසරේදී ය.

පාද යුගල තුනක ඡායාරූපයක් පළ කරමින් ඇය කියා සිටියේ "මගේ සරු බව පිළිබඳ අභියෝග මැද උනත්, මම ම සහ මගේ ම කොන්දේසි මත අම්මා කෙනෙකු වීම මගේ ජීවිතයේ මම ලබපු වඩාත් ම නිහතමානී අත්දැකීම" යනුවෙනි.

ඇය මාතෘත්වය "වගකීමෙන් හා කල්පනාකාරීව" තෝරා ගත් බවත් "ඊට වඩා තමන් සතුටට පත්වීම දරාගත නොහැකි" බවත් ඇය පවසයි.

ඇය තම පවුල විස්තර කළේ, "වසර ගණනාවක් තිස්සේ තමන් ගොඩනගා ගැනීමට උත්සහ කළ" පවුලක් ලෙස ය.

"හැම අම්මා කෙනෙක්ට ම මම ලියන්නේ. අද ඔයා කොතනක හිටියත්, කොහොම හිටියත්, මගේ සිහින පවුල එක්ක මම ඔයාලා එක්ක (මව්වරුන්ගේ දිනය) සමරනවා," ඇය සඳහන් කළා ය.

2021 දී හර්ඩ් ඇගේ පළමු දියණියගේ උපත නිවේදනය කරමින්, ඇය "දරුවෙකු ලබා ගැනීමට විවාහ වීම අවශ්‍ය නොවන බව පවසමින් දරුවන් බිහි කිරීම සාමාන්‍යකරණය කිරීමට" ඇති ඇගේ කැමැත්ත ගැන කතා කළා ය.

"කාන්තාවන් විදියට අපේ ඉරණමේ මූලික ම අංගයක් ගැන මේ විදියට හිතන එක මොනතරම් රැඩිකල් ද කියලා මට දැන් වැටහෙනවා," ඇය ඒ අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම්හි ලියා තිබුණි.

ඇම්බර් හර්ඩ් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ඇයගේ The Rum Diary, Drive Angry, Zombieland සහ Aquaman යන චිත්‍රපට හරහා ය.

ඇය 2015 සිට 2016 දක්වා අතර කාලය තුළ හොලිවුඩ් නළු ජොනී ඩෙප් සමග විවාහ වී සිටියා ය.

ඔවුන්ගේ විවාහය අවසන් වූ පසු, මෙම යුවළ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගත් අතර දීර්ඝ හා ඉහළ පෙළේ අපහාස නඩු දෙකකට සම්බන්ධ වූහ.

2020 දී ඩෙප්ට එරෙහිව පැවති News Group Newspapers (NGN) නඩු විභාගයේදී, ඔහු "බිරිඳට පහර දෙන්නෙකු" බවට ඇම්බර් හර්ඩ් පුවත්පතේ පළවූ ප්‍රකාශයන්ට සහය දැක්වීමට සාක්ෂි දීමෙන් පසු, ඩෙප් සන් පුවත්පතට එරෙහිව පැවරූ අපහාස නඩුවෙන් පරාජයට පත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්වූ ඩෙප්ට එරෙහිව ඇම්බර් හර්ඩ් ගොනුකළ නඩු විභාගයේදී, ඩෙප්ට අපහාස කිරීම සම්බන්ධයෙන් හර්ඩ් වගකිව යුතු බව අනාවරණය විය.

2022 දී සති හයක් පුරා, එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ උසාවියක් යුවළගේ 'අස්ථාවර සම්බන්ධය' පිළිබඳ නඩුව විභාග කළේ ය.

ඩෙප් ඔහුගේ හිටපු බිරිඳට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරුවේ, ඇය ගෘහස්ථ අපයෝජනයට ලක්වූ බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියූ ලිපියක් නිසා ය. නමුත් එහි ඔහුගේ නම සඳහන් කර තිබුණේ නැත. හර්ඩ් ඊට එරෙහිව නඩුවක් පවරා තිබිණි.

හර්ඩ්ට අතවර කිරීම ප්‍රතික්ෂේප කළ ඩෙප්ට ජූරි සභිකයින් ඩොලර් මිලියන 15 (£12m) ක වන්දි සහ අපහාස වන්දි ප්‍රදානය කිරීමට නියෝග කළේ ය.

ඩෙප්ට එරෙහිව පැවරූ නඩු තුනෙන් එකක් හර්ඩ් ජයග්‍රහණය කළ අතර වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් ප්‍රදානය කරන ලදී.