සමේ වර්ණය නිසා බිරිඳ පණපිටින් පිළිස්සූ සැමියෙකුට මරණ දඬුවම

    • Author, ගීතා පාණ්ඩේ
    • Role, බීබීසී පුවත්, දිල්ලි

ඇතැම් පාඨකයින් කම්පනයට පත් විය හැකි කරුණු මෙම ලිපියේ අන්තර්ගත වේ.

සමේ වර්ණය හේතුවෙන් සිය බිරිඳ පණපිටින් පිළිස්සූ පුද්ගලයෙකුට ඉන්දීය අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ.

ලක්ෂ්මි නමැති මෙම කාන්තාව මරණයට පෙර ඇය සිදු කළ ප්‍රකාශවලදී පවසා තිබුණේ, තම සැමියා වන කිෂන්දාස් "තම සම අඳුරුපැහැ වීම නිසා තමාට නිතර ම නින්දා අපහාස සිදු කළ බව ය."

උතුරු උදයිපූර් නගරයේ දිසා විනිසුරු රාහුල් චෞද්‍රි මෙම ඝාතනය "අතිශය දුර්ලභ" ගණයට අයත් වන බව ත් එය "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්" බවත් පවසමින් මරණ දණ්ඩනය පිළිබඳ පැහැදිලි කළේ ය.

බීබීසීය වෙත අදහස් දක්වමින් කිෂන්දාස්ගේ නීතීඥවරයා පැවසුවේ, තම සේවාදායකයා නිර්දෝෂී බව සහ එම නියෝගයට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන බව‍ ය.

මීට වසර අටකට පෙර සිදුවූ ලක්ෂ්මිගේ ඝාතනය සහ ඒ සම්බන්ධයෙන් ඉකුත් සති අන්තයේදී ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ තීන්දුව සමේ ​​වර්ණය පිළිබඳ උමතුවක් පවතින රටක සිරස්තල මැවූ ප්‍රවෘත්තියක් විය.

බීබීසීයට නිරීක්ෂණය කිරීමට හැකි වූ අධිකරණ නියෝගයට අනුව, ලක්ෂ්මිට ප්‍රහාරය එල්ල වී ඇත්තේ 2017 ජූනි 24 රාත්‍රියේදීයි.

ඇයගේ මරණයට පෙර ඇය පොලිසියට, වෛද්‍යවරුන්ට සහ විධායක මහේස්ත්‍රාත්වරයෙකුට ලබා දුන් ප්‍රකාශ අධිකරණ තීන්දුවට ඇතුළත් කර තිබිණි.

ඔවුන්ගේ විවාහය සිදුවූ 2016 වසරේ සිට ඇගේ ස්වාමිපුරුෂයා නිරන්තරයෙන් ඇයට "කාලි" හෝ අඳුරු සමක් සහ ශරීරයක් ඇති බව පවසමින් ඇයව ලැජ්ජාවට පත් කළ බව ලක්ෂ්මි පවසා තිබිණි.

ඇය මිය ගිය දින රාත්‍රියේ කිෂන්දාස් දුඹුරු පැහැති දියරයක් සහිත ප්ලාස්ටික් බෝතලයක් රැගෙනවිත් තිබූ අතර එය ඇගේ සම පැහැපත් කිරීමට ගෙන ආ ඖෂධයක් බව පවසා තිබේ.

ලක්ෂ්මිගේ ප්‍රකාශ අනුව ඔහු එම දියරය ඇගේ ශරීරයේ ගල්වා ඇති අතර ඉන් ඇසිඩ් වැනි ගන්ධයක් නිකුත් වූ බවට ඇය පවසනවත් ම ඔහු හඳුන්කූරකින් ඇගේ ශරීරයට ගිනි තබා ඇත. ඇගේ ශරීරය ගිනිගන්නා විට ඔහු ඉතිරිව තිබූ දියරය ඇගේ ශරීරයට වත් කර පළා ගොස් තිබේ.

කිෂන්දාස්ගේ මව්පියන් සහ සහෝදරිය ඇය රෝහල්ගත කළ නමුත් පසුව ඇය එහිදී මිය ගියා ය.

"මෙම හද කම්පා කරවනසුලු කුරිරු අපරාධය ලක්ෂ්මිට පමණක් නොව, එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත," විනිසුරු චෞද්‍රි ඔහුගේ තීන්දුවේ සඳහන් කළේය.

කිෂන්දාස්, "ඇයගේ විශ්වාසය බිඳ දැමුවා, ඇය පිළිස්සෙන අතරතුර ඉතිරි වූ දියරය ඇය මතට වත් කිරීමෙන් අධික කෲරත්වයක් ප්‍රදර්ශනය කළා," ඔහු පැවසීය.

"එය යහපත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයකට සිතා ගැනීමටවත් නොහැකි මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරනවනසුලු අපරාධයකි," එම තීන්දුවේ තව දුරටත් සඳහන් කර තිබේ.

රජයේ අභිචෝදක දිනේෂ් පලිවාල් මෙම නියෝගය, "ඓතිහාසික" එකක් ලෙස හැඳින්වූ අතර ඔහු බීබීසීයට පැවසුවේ එය "සමාජයේ අනෙකුත් පුද්ගලයින්ට පාඩමක්" කියා දෙන ක්‍රියාවක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ය.

"අවුරුදු විසි ගණනක් වයසැති තරුණ කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ඇය යම් අයෙකුගේ සහෝදරියක්, යම් අයෙකුගේ දියණියක්, ඇයට ආදරය කළ පුද්ගලයින් සිටියා. අපි අපේ දියණියන් ආරක්ෂා කර නොගන්නේ නම් කවුද එය සිදුකරන්නේ?," ඔහු පැවසුවේය.

මරණ දඬුවම තහවුරු කිරීම සඳහා තමන් එම නියෝගය මහාධිකරණයට යොමු කළ බව පැවසූ පලිවාල් පෙන්වා දුන්නේ චූදිතයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට දින 30ක කාලයක් පවතින බව ය.

කිෂන්දාස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන්ද්‍ර කුමාර් මෙනාරියා බීබීසීයට පැවසුවේ, ලක්ෂ්මිගේ මරණය අහම්බයෙන් සිදුවූවක් බව සහ අසත්‍ය චෝදනා එල්ල කර තිබෙන තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොතිබුණු බවයි.

උදයිපූර් අධිකරණ නියෝගය මගින් පැහැපත් සම සඳහා ඉන්දියාව තුළ පවතින දැඩි කැමැත්ත පිළිබඳ නැවත වරක් අවධානය යොමු කර ඇත.

එරට අඳුරු පැහැයෙන් යුතු සමක් සහිත ළමුන් සහ කාන්තාවන් නින්දාසහගත නම්වලින් හඳුන්වනු ලබන අතර ඔවුහු වෙනස්කොට සැලකීම්වලට මුහුණ දෙති. එමෙන් ම සම පැහැපත් කරන නිෂ්පාදන සඳහා බිලියන ගණනින් ලාභ උපය‍න විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත.

විවාහ දැන්වීම්වලදී සමේ වර්ණය සෑමවිට ම අවධාරණය කෙරෙන අතර පැහැපත් සමක් හිමි ඇති මනාලියන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී.

තම "සම අඳුරු පැහැ වීම" හේතුවෙන් සැමියාගේ නින්දා අපහාසවලට ලක් වූ කාන්තාවන් සියදිවි නසාගැනීම් පිළිබඳ සිදුවීම් බීබීසීය මීට පෙර අවස්ථාවලදී ද වාර්තා කර ඇත.

මෑත වසරවලදී සමාජ ක්‍රියාකාරිකයින් විසින් පුළුල් ලෙස පැතිර පවතින පැහැපත් බව වඩා සුදුසුයි යන මතයට අභියෝග කර ඇති නමුත් ඔවුන් පවසන්නේ ගැඹුරින් මුල් බැසගත් මතවලට එරෙහිවීම පහසු නොවන බව ය.

එම වෙනස්වීම් සිදුවන තුරු මෙවැනි වෙනස්කොට සැලකීමේ ආකල්ප ජීවිත විනාශ කරමින් පවතිනු ඇත.