ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තමන්ගේම විදේශ ගමන් බලපත්‍රයක් ලබන්න කුක් දූපත් වැසියන්ට අයිතියක් නැද්ද?
- Author, කෙලී යැන්ග්
- Role, බීබීසී පුවත්
නවසීලන්ත පුරවැසිභාවය රඳවා ගැනීමට ඉඩ සලසන අතරේම, සිය පුරවැසියන් සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට කුක් දූපත් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව නවසීලන්තය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ස්වයං පාලන පැසිෆික් රාජ්‍යයක් වන කුක් දූපත් නවසීලන්තය සමඟ "නිදහස් සම්බන්ධතාවයක්" පවත්වා ගෙන යන අතර කුක් දූපත්වල විදේශ කටයුතු සහ ආරක්ෂක කටයුතු සිදු කරන්නේ නවසීලන්තය ය.
කුක් දූපත් වැසියන්ට නවසීලන්තයේ ජීවත් වීමට, රැකියා කිරීමට සහ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකියාව තිබේ.
අගමැති මාක් බ්‍රවුන්, කුක් දූපත් වාසීන්ට ඔවුන්ගේම අනන්‍යතාවය ලබා දීම වෙනුවෙන්, ඔවුන්ගේම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් නවසීලන්තය පවසා ඇත්තේ කුක් දූපත් සම්පූර්ණයෙන්ම ස්වාධීන වන්නේ නම් මිස එය කළ නොහැකි බවයි.
එහි ප්‍රධාන පුවත් විකාශකයා වන1News වෙත මුලින්ම නිකුත් කරන ලදුව සහ රොයිටර් විසින් වාර්තා කරන ලද පුවත්වලට අනුව, බ්‍රවුන් මස ගණනක් තිස්සේ කුක් දූපත්වාසීන් සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් සහ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සටනක් ගෙන යමින් සිටින බවයි. නවසීලන්ත ව්‍යවස්ථාවෙන් පාලනය වන රටක් ලෙස එය දිගටම පවත්වාගැනීම ද අපේක්ෂාව වී තිබේ.
කුක් දූපත් ජාතිකයින් 1ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නවසීලන්තයේ ජීවත් වන අතර කුක් දූපත්වල ජීවත් වන්නේ පහළොස් දහසක් දෙනා පමණි. අවම වශයෙන් වසරක්වත් අඛණ්ඩව නවසීලන්තයේ ජීවත් වූ කුක් දූපත්වාසීන්ට, නවසීලන්තයේ මැතිවරණ සහ ජනමත විචාරණ සඳහා තරග කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ.
වෙනම පුරවැසිභාවය පිළිබඳ ගැටළුව මත දෙරට අතර නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින අතර, මෑත මාස කිහිපය තුළ දෙපාර්ශවයේම නායකයින් සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව ද වාර්තා වේ.
"නවසීලන්ත වැසියන්ට ද්විත්ව විදේශ ගමන් බලපත්‍ර රැගෙන යාමට නිදහස තිබේ. වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති නවසීලන්ත ජාතිකයින් ගණනාවක් සිටිනවා." යැයි බ්‍රවුන් පසුගිය නොවැම්බර් මාසයේ දී පැවසූ බව නවසීලන්ත රේඩියෝව පසුව වාර්තා කර තිබුණි.
"ඒය අපි කරන දෙයමයි..." ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත් සමහර කුක් දූපත් වැසියන් මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකළ බවට ඔවුන්ගේ රජය විවේචනය කළහ.
වෙලින්ටන් හි සේවය කරන කුක් දූපත් ජාතික තෝමස් වයින්, කුක් දූපත් හි ප්‍රවෘත්ති බෙදා හරින 'කුක් ප්‍රවෘත්ති' වෙත මෙසේ පැවසුවේ ය. "සැබෑ ප්‍රශ්නය වන්නේ කුක් දූපත්වල ජනතාවට අවශ්‍ය කුමක්ද සහ මෙම තීරණාත්මක තීරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබාගෙන තිබේද යන්නයි. එසේ නැතිනම් එය බොහෝ දෙනෙකු වෙනුවෙන් ස්වල්ප දෙනෙක් ගත් තීරණයක් වේවිද?"
අනෙකුත් කුක් දූපතේ පදිංචිකරුවන් 1News වෙත පැවසුවේ එවැනි පියවරක් මගින් නවසීලන්තයේ සෞඛ්‍ය සේවා වැනි සේවාවන් වෙත තමන්ට ඇති ප්‍රවේශය අවහිර වනු ඇතැයි තමන් කනස්සල්ලෙන් පසුවන බවයි.
පසුගිය ඉරිදා නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස්, මෙම සාකච්ඡා අවසන් කරමින් පැහැදිලි කළේ, වෙනම විදේශ ගමන් බලපත්‍ර සහ පුරවැසිභාවය ලබා ගත හැක්කේ පූර්ණ ස්වාධීන සහ ස්වෛරී රටවලට පමණක් බවයි.
දෙරට අතර පවතින සබඳතාව වෙනස් වීමට හේතු වන ඕනෑම පියවරක්, ජනමත විචාරණයකට භාජනය කිරීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"එවැනි ජනමත විචාරණයකින් කුක් දූපත් වැසියන් වැඩි කැමැත්තක් දක්වන්නේ නවසීලන්ත පුරවැසිභාවය සහ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ද එසේ නත්නම් පූර්ණ ස්වාධීනත්වයටද යන්න ප්‍රවේශමෙන් සලකා බැලීමට ඉඩ සලසනවා" යැයි ඔහු මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
"කුක් දූපත්වල රජයේ අරමුණ, නවසීලන්තයෙන් නිදහස ලබා ගැනීම නම්, ඇත්ත වශයෙන්ම එය ඔවුන් ආරම්භ කළහොත් අප ඉදිරියට ගෙන යාමට සූදානම් සංවාදයකි."
1News ට අනුව, පීටර්ස්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස බ්‍රවුන් "නවසීලන්තය සමඟ කුක් දූපත්වල ඇති වැදගත් බැඳීමට බලපාන කිසිවක් ක්‍රියාත්මක නොකරනු ඇත" යි පවසා තිබේ.
තවත් කුඩා පැසිෆික් දූපතක් වන නියු, ද නවසීලන්තය සමඟ මෙයට සමාන සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. එයට අභ්‍යන්තර ස්වයං පාලනයක් ඇති නමුත් ආරක්ෂක හා බොහෝ විදේශ කටයුතු සඳහා රඳා පවතින්නේ වෙලින්ටන් මතය.
ඩෙන්මාර්ක රාජධානියට අයත් ග්‍රීන්ලන්තය සහ ෆාරෝ දූපත්, මෙන්ම ආරක්ෂක හා විදේශ කටයුතු සඳහා එක්සත් ජනපදය මත රඳා පවතින පුවෙටෝ රිකෝ වැනි රටවල් ද ස්වයං පාලනයන සහිත ලෝකයේ වෙනත් ප්‍රදේශවල ඇති රටවල් ය.