ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මන්ත්‍රීවරුන්ට ගිනිඅවි දීම: ආණ්ඩුව සැරසෙන්නේ 'මොකක් හරි සෙල්ලමකට' ද?
ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් සහ ඉදිරියේදී තවත් මැතිවරණ හා ඡන්ද විමසීම් මාලාවක් පැවැත්වීමට නියමිතව ඇති කාලවකවානුවක "මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්" ගිනි අවි ලබා දීමට රජය තීරණය කර තිබේ.
ගිනි අවි දෙකක් මුදලට ලබා දෙන අතර මන්ත්‍රී ධූරය අහිමි වු පසුව ද එය තමන් සන්තකයේ තබා ගත හැකි ආකාරයට නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන අගෝස්තු 27 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
'එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ'
"අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන්පසුව ඇති වූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතා ම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්තනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වධහිංසා කරලා සමූහ ලෙස එකතු වෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනිබත් කරලා, ඊට පස්සේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මක වීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා."
"දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ. මොක ද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගට ම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරන් තියෙනවා මන්ත්‍රී ධූරය අහිමි වීමෙන් පසු අයිති කර ගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න," යනුවෙන් ඇමතිවරයා රජය ගත් තීරණය ප්‍රකාශයට පත් කරමින් පැවසීය.
මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබා දීම ආරම්භ වූයේ කෙසේ ද?
1988/89 කාල පරිච්ඡේදයේදී රට තුළ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ සන්නද්ධ කැරැල්ල සහ එල්.ටී.ටී.ඊ. සමග පැවති සිවිල් යුද්ධය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගිනිඅවි නිකුත් කිරීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න 2015 නොවැම්බර් මස බේරුවලදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසීය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ගිනිඅවි නැවත ලබාගැනීමේ තීන්දුවක් ගත යුතු බව ය.
තමන් තවමත් එම ස්ථාවරයේ පසු වන බව වෛද්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසීය.
දකුණේ ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල පැවති කාලයේදී ලියාපදිංචි කිරීමකින් තොරව දේශපාලකයන්ට මෙන් ම රජයේ සහය ලබන අතුරු හමුදා කණ්ඩායම්වලට එවක පැවති රජය විශාල වශයෙන් අවි ආයුධ නිකුත් කර තිබිණි.
වර්තමානය වන විට රට තුළ යුද්ධයක් හෝ ආයුධ සන්නද්ධ කැරැල්ලක් නොමැති පසුබිමක රජය විසින් මන්ත්‍රීවරුන්ට ගිනිඅවි දෙකක් ලබා දීමට තීරණය කර ඇත්තේ, "ප්‍රචණ්ඩකාරී ජනතා නැගිටීම්" සිදුවිය හැකි බවට අනුමාන කරමිනි.
මන්ත්‍රීවරුන් 100 දෙනෙකු ගිනිඅවි අරන්
මේ වන විට, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ගිනිඅවි ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කටයුතු පිළිබඳ අංශය බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙම ගිනිඅවි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අවසන් වීමෙන් පසු නැවත භාර දිය යුතු ය.
කෙසේ වෙතත්, මුදල් ගෙවා මිල දී ගනු ලබන ගිනිඅවි මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ පසුව ද සන්තකයේ තබා ගැනීමට හැකි වනු ඇත.
ඉන්දියාවේ හා බංගලාදේශයේ තත්ත්වය
කලාපයේ අසල්වැසි රටවල මන්ත්‍රීවරුන් සන්තකයේ පවතින ගිනිඅවි සම්බන්ධව ද බීබීසි සිංහල සේවය විමසා බැලීමක් කළේ ය.
එහිදී, මෑතකදී ප්‍රචණ්ඩකාරී ජනතා නැගිටීම් සිදුවූ බංගලාදේශයේ දේශපාලන නායකයින් හා ක්‍රියාකාරීන් 10.000කට වැඩි සංඛ්‍යාවක් ගිනිඅවි සන්තකයේ තබාගෙන සිටි බවට එරට මාධ්‍ය වාර්තා පිරික්සීමේදී තහවුරු විය.
ඉන්දියාවේ තත්ත්වය සලකා බැලිමේදී, 2012 වසරේ බීබීසී ලෝක සේවය සැපයූ වාර්තාවකට අනුව 2001-2012 කාල සීමාවේදී එරට මන්ත්‍රීවරුන් 82 දෙනෙකු රජයෙන් ගිනිඅවි මිලට ගෙන තිබිණි.
ඉන් 18 දෙනෙකු තම ගිනිඅවි විකුණා ඇති අතර ඔවුන්ට එරෙහි මිනීමැරුම්, කොල්ලකෑම් වැනි අපරාධ සම්බන්ධව ද නඩු ගොනු කර ඇතැයි ද බව එම වාර්තාවේ දක්වා ඇත.
'රටක් ආරක්ෂා වෙනවාට වඩා රටක ආරක්ෂාව බිඳ වැටෙන්න පුළුවන්'
රටේ ආරක්ෂාව සැලසීමේ වගකීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂක අංශ සතු බවත් පුද්ගලයන්ට ගිනිඅවි ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොවිය යුත්තක් බවත් සමාජ විද්‍යා මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා අවධාරණය කරයි.
"සමාජයක් ආරක්ෂා කරන්න ආරක්ෂක අංශ ඉන්නවා. ඒ ආරක්ෂක අංශ දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි රටේ සියලු පුරවැසියන්ට ආරක්ෂාව සැපයීමට බැඳී සිටිනවා. ඊට අමතරව තෝරගත් කණ්ඩායමකට විතරක් ගිනිඅවි ලබා දීම එතන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඔවුන්ගේ බල අධිකාරිය, ඔවුන්ගේ බල සම්පන්නභාවය සමාජයට මුදාහරින්න මේ අවි ආයුධ පාවිච්චි කරන්න පුළුවන්. මේ අවි ආයුධ දේශපාලනඥයන් විතරක් පාවිච්චි කරයි ද නැතිනම් දේශපාලනඥයන් වටා ගොඩනැගිලා ඉන්න වෙනත් කල්ලි කණ්ඩායම් මේවා පාවිච්චි කරයි ද කියන එක දන්නේ නෑ. රටක් ආරක්ෂා වෙනවාට වඩා රටක ආරක්ෂාව බිඳ වැටීමට මේවා බලපාන්න පුළුවන්," බව මහාචාර්යවරයා බීබීසි සිංහල සේවයට පැවසීය.
'අයහපත් වාතාවරණයක් නිර්මාණය කරන්න සැලසුම් තියෙනවා ද?'
සිවිල් වැසියන්ට අවිආයුධ ලබා දීම කිසිසේත් ම නොකළ යුතු දෙයක් බව අවධාරණය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා රාජ්‍ය ආරක්ෂක යන්ත්‍රණය විසින් ඔවුන්ට ආරක්ෂාව සලසනු ලැබිය යුතු බව පෙන්වා දුන්නේ ය.
"යම් කාලවල ආණ්ඩුකාරවරු විදියට හිටපු අය ධූරයෙන් බැහැර වුණාමත් ඒගොල්ලන්ට ආරක්ෂකයෝ දෙන්නෙක් දීලා තියෙනවා. මහජන මුදල්නේ මේ වැය කරන්නේ. මොකක් ද එහෙම විශේෂ ආරක්ෂාවක් දෙන්න හේතුව? ඒක පිළිගන්න බැහැ. එහෙම බැලුවොත් ඔහොම තනතුරු දෙන හැම එක්කෙනාට ම ආරක්ෂාව දෙන්න ගියොත් එහෙම ඒකෙන් පේන්නේ රටක ආරක්ෂාවක් නෑ කියන එක. රජය ම පිළිගන්නවා රටේ යහපත් වාතාවරණයක් නැහැ කියලා. එහෙම නැත්නම් අයහපත් වාතාවරණයක් නිර්මාණය කරන්න සැලසුම් තියෙනවා ද අපි දන්නේ නෑ."
'ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නුසුදුසු දෙයක්'
ත්‍රිවිධ හමුදාව හා පොලිසිය හැර වෙනත් අතුරු හමුදා කණ්ඩායම් හෝ මැර කණ්ඩායම් විසින් ආරක්ෂාව ලබා දෙනු ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නුසුදුසු බව ද මහාචාර්යවරයා කියා සිටියේ ය.
"සාමුහිකව සෑම පුරවැසියාව ම ආරක්ෂා වෙන ආරක්ෂිත ජාලයක් රට තුළ ක්‍රියාත්මක කිරීම තමයි ආණ්ඩුවල වගකීම. ඒක කරන්නේ නැතුව වෙන ඒවා කරන එක පිළිගත හැකි දෙයක් නෙමෙයි."
මන්ත්‍රීවරුන්ට ආයුධ දී ඔවුන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොම ද?
මැති ඇමැතිවරුන්ට දැනටමත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දී ඇතැයි කී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ගිනිඅවි ලබා දීමට රජය ගෙන ඇති තීරණය ගැන සැක මතු කළේ "වෙන මොකක් හරි සෙල්ලමක් කරන්න යනවා" දැයි විමසමිනි.
“මට තේරෙන්නේ නැති දේ තමයි මන්ත්‍රීවරයෙකුට අමතර ආයුධ දීලා මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව සලසන්නේ කොහොම ද කියලා. මහජන නියෝජිතයන්ට යම් ආරක්ෂාවක් ඕනේ කියන එක ඇත්ත, මොක ද මේ සමාජයේ විවිධ මත තියෙන උදවිය ඉන්නවා නේ. ඒ ආරක්ෂාව දැනට ලබා දීලා තියෙනවා, මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. ඊට අමතරව ආයුධ දීලා මේ යන්නේ වෙන මොකක් හරි සෙල්ලමක් කරන්න ද කියන සැකය තියෙනවා," යැයි මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවයට පැවසීය.
එක් මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් දැනටමත් පොලිසියේ 6 දෙනෙකු අනියුක්ත කර ඇති බැවින් එය ප්‍රමාණවත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ ය.
'අවි ආයුධ දීලා ජනතා නැගිටීම්වලින් ගැලවෙන්න බැහැ'
ජනතා නැගිටීම් සිදුවිය හැකි බැවින් මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගිනිඅවි ලබා දෙන බව රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවය සමග අදහස් පළ කළේ ය.
"ජනතා නැගිටීම් එනවයි කියන්නේ ආණ්ඩුවේ තියෙන අවුලක් හින්දා නේ. ඒකට තියෙන්නේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ මේක අතඇරලා. මේගොල්ලෝ බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නකොට ජන අරගල එනවා තමයි."
ජනතාවගේ බලාපොරොත්තු හා කැමැත්තක් නොමැතිව බලය පත්වාගෙන යාමට උත්සහ දරන විට ජනතාව නැගී සිටිම සමාන්‍ය ස්වාභාවය බවත් එය ඕනෑ ම රටක විය හැකි දෙයක් බවත් සඳහන් කළ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ගිනිඅවි ලබා දීමෙන් ඉන් ගැලවිය නොහැකි බව ය.