පාපන්දු ලෝක කුසලානය සෞදියේ පැවැත්වීමට ගත් තීරණය පිටුපස සැඟවී ඇති කරුණු

    • Author, ඩෑන් රෝන්
    • Role, ක්‍රීඩා සංස්කාරක

මානව හිමිකම් සහ පාරිසරික වාර්තා ගැන වසර ගණනාවක් පුරා පවතින ගැටලුකාරී තත්ත්වයන් මැද 2034 පිරිමි පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස සෞදි අරාබිය නම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ගනු ලැබූ තීරණය පාපන්දු ක්‍රීඩාවේ පාලනය සිදුකරන සංගමය විසින් මෙතෙක් ගනු ලැබ ඇති වඩාත් ම මතභේදාත්මක පියවරයන්ගෙන් එකක් වනු ඇත.

බොහෝ විවේචකයින් කලකිරීමට පත්ව සිටිය ද, ක්‍රීඩාව සඳහා සෞදි අරාබිය සිදුකරන පෙර නොවූ විරූ ආයෝජනයන් නිසා පාපන්දු ක්‍රීඩාව සුරක්ෂිත වන බව ඇතැම්හු පවසති.

එබැවින්, සෞදි අරාබියේ කීර්ති නාමය පරිවර්තනය කිරීමට මෙම තරගාවලිය භාවිත කරන්නේ ද, නැතහොත් එය සමාජ ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් විය හැකි ද? තව ද, මෙය වඩාත් පුළුල් ලෙස ජාත්‍යන්තර පාපන්දු සංගමය සහ පාපන්දු ක්‍රීඩාව අපට පවසන්නේ කුමක් ද?

මේ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටලු දෙස BBC Sport කළ විමසා බැලීමකි.

මෙය අභිෂේක උළෙලක් මිස තරගාවලියන් නොවන්නේ ඇයි?

සෞදි අරාබියේ පිරිමි පාපන්දු ලෝක කුසලානය පැවැත්වීම පිළිබඳ නිල තහවුරු කිරීම බදාදා පස්වරුවේ පැවැත්වෙන Fifa කොංග්‍රසයේ 'ඔන්ලයින්' රැස්වීමකදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

වසරකට වැඩි කාලයක් පුරා, සෞදි අරාබිය මෙම තරගාවලිය පැවැත්වීමේ ලංසුව දිනා ගන්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබූ අතර, 2023 ඔක්තෝබර් මාසයේදී සෞදි අරාබිය කිසිදු තරගයකට මුහුණ නොදෙන බව තහවුරු විය. ඔවුන්ට අභියෝග කළ හැකිව තිබූ එක ම රට වූ ඔස්ට්‍රේලියාව ලංසු නොතැබීමට තීරණය කළේ ය. මක්නිසාද යත්, FIFA විසින් ලංසුවක් සකස් කිරීමට ඔස්ට්‍රේලියාවට ලබා දුන්නේ මාසයකට වඩා අඩු කාලයක් පමණක් වන අතර, ප්‍රබල තර්කයක් ඉදිරිපත් කිරීමට කාලය ඉතා මද බව ඔවුන්ට හැඟිණි. එබැවින් සෞදි අරාබියේ ලංසුවට කිසිදු විරුද්ධත්වයක් එල්ල නොවීය.

2034 පිරිමි පාපන්දු ලෝක කුසලාන ලංසුව සඳහා ඉක්මන් තීරණ ගැනීමේ ක්‍රියාවලිය FIFA විසින් සාධාරණීකරණය කරනු ලැබ ඇති අතර බොහෝ අය විශ්වාස කරන්නේ එහි විනිවිදභාවයක් සහ සාධාරණත්වයක් නොමැති බව ය. විවේචකයින් තර්ක කරන පරිදි 2030 ලෝක කුසලානය මහාද්වීප 3ක (ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝ සත්කාරකත්වය සහ දකුණු ඇමෙරිකාවේ පළමු තරග තුන පැවැත්වීමට) ගත් තීරණය සෞදි අරාබියට අනුග්‍රහය දැක්වීම සඳහා ගත් පියවරක් බව ය. මක්නිසාද යත්, ලෝක කුසලාන සත්කාරකයින් සඳහා FIFA හි හුවමාරු ප්‍රතිපත්තියෙන් අදහස් වූයේ, 2034 තරගාවලිය සඳහා ලංසු ඉදිරිපත් කළ හැක්කේ ආසියාවට සහ ඕෂනියාවට පමණක් බව ය.

පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ යටතේ සෞදි අරාබිය සහ FIFA ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගෙන ඇත. FIFA 2023 Club පාපන්දු ලෝක කුසලානයට සෞදි අරාබිය සත්කාරකත්වය සැපයූ අතර, සෞදි අරාබියේ රජය සතු තෙල් සමාගම වන Aramco සමග FIFAහි විශාල අනුග්‍රාහක ගිවිසුමක් ද පවතී. මෙම සමීප සම්බන්ධතාව සෞදි අරාබිය FIFAහි තීරණ කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ප්‍රශ්න මතු කර ඇත.

ෆීෆා සභාපතිගේ මූලික ව්‍යාපෘතියක් වන ක්ලබ් ලෝක කුසලානය ලබන වසරේ ගිම්හානයේදී පැවැත්වීමට නියමිත අතර, එහි විකාශන කටයුතු සිදුකිරීමට ජනප්‍රිය විකාශන සමාගමක් වන DAZN එකඟ වී ඇත. සෞදි අරාබියේ පොදු ආයෝජන අරමුදල (PIF) විසින් DAZN හි විශාල වශයෙන් ආයෝජනයක් සිදුකරනු ඇති බවට දැඩි කතාබහක් පවතී.

සෞදි අරාබියේ ලංසුව ජයග්‍රහණය කරනු ඇතැයි යන හැඟීම පසුගිය මාසයේ FIFA විසින් රාත්‍රියේදී නිකුත් කරන ලද අගැයීම් වාර්තාව අනුව තහවුරු විය. FIFAහි මහ ලේකම්, මතායස් ග්‍රාෆ්ස්ට්‍රෝම් විසින් ලියන ලද එම වාර්තාවේ, සෞදි අරාබියේ ලංසුවට 5න් 4.2ක සාමාන්‍ය ලකුණු ලබා දුන් අතර එය මෙතෙක් ලබා දී ඇති ඉහළ ම ලකුණු ප්‍රමාණය විය.

එවැනි සුවිශේෂී තක්සේරුවක් ලබාදීම ගැන පැහැදිලි කිරීම සඳහා කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් නොපැවැත්වූ අතර, ලංසුව මානව හිමිකම් සඳහා 'මධ්‍යම අවදානමක්' සහ පාරිසරික ආරක්ෂාව සඳහා 'අඩු අවදානමක්' ලෙස සැලකීම, උද්ඝෝෂකයින්ගේ කෝපයට හේතු විය.

සෞදි අරාබියේ ලංසුව අනුමත කිරීමේ තීරණය සාම්ප්‍රදායික ඡන්දයකින් නොව FIFA කොංග්‍රසයේ සහය පෙන්වීමකින් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් අදහස් කරන්නේ කිසියම් රටක් එකඟ නොවන්නේ නම්, ඔවුන්ට විරුද්ධත්වය පෙන්විය හැකි එක ම ක්‍රමය වන්නේ නිවේදනයෙන් පසුව ලැබෙන අත්පොලසන් හඬ මගහැර සිටීම පමණක් බව ය.

නිශ්චිත ක්‍රියා පටිපාටිය තවමත් සම්පූර්ණයෙන් නොදන්නා නමුත්, FIFA විසින් 2030 වසරේ ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝවේ ලෝක කුසලාන ලංසුවට සහ 2034 සෞදි අරාබියේ ලංසුව යන දෙකට ම සිය සහය දක්වන ලෙසට සාමාජික රටවලින් ඉල්ලා සිටිය හැකි බවට ඉඟි තිබේ. (වෙන ම පිළිගැනීම් දෙකක් තිබීම වෙනුවට).

රටවල් කිහිපයක් ලංසු සඳහා තරග වදින විට ඡන්ද හුවමාරුව හෝ දූෂණ සිදුවීමේ අවදානමක් පැවති පැරණි ක්‍රමයට වඩා තරගකාරී නොවන ලංසු හරහා සත්කාරකයින් තෝරා ගැනීම වඩා හොඳ බව FIFAට තර්ක කළ හැකි ය. ගෝලීය සංවිධානයක් ලෙස ලෝක කුසලානය නව රටවලට සහ කලාපවලට ගෙන ඒමේ වගකීම තමන්ට පැවරෙන බව ද ඔවුහු පවසති.

සෙසු රටවල් පවසා ඇත්තේ කුමක් ද?

නෝර්වේ පාපන්දු සම්මේලනය පවසා ඇත්තේ අත්පොළසන් දීම සඳහා තමන් එක් නොවන බව ය. ඔවුන් විශ්වාස කරන්නේ ලංසු තැබීමේ ක්‍රියාවලිය යහපාලනය සඳහා වන FIFAහි නීතිරීතිවලට පටහැනි වන අතර FIFA කෙරෙහි ඇති විශ්වාසයට ද ඉන් හානි සිදුවන බව ය. FIFA විසින් ලංසු නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා තමන්ගේ ම මාර්ගෝපදේශ අනුගමනය නොකරනු ලැබූ බවත්, එය 'මානව හිමිකම් ගැටලුවලට තුඩු දිය හැකි බවත්' ඔවුහු තර්ක කළහ.

බටහිර යුරෝපයෙන් පිටත බොහෝ පාපන්දු සම්මේලන සෞදි අරාබියේ ලංසුවට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජර්මනියේ පාපන්දු සම්මේලනය (DFB) පැවසුවේ, ඔවුන් "සෞදි අරාබිය විවේචනය කිරීම බැරෑරුම් ලෙස සලකන" නමුත් අනාගතයේදී ඇතැම් දේවල් වැඩිදියුණු කිරීම සඳහා FIFA සමග කටයුතු කිරීම ඔවුන්ගේ ඉලක්කය බව ය.

පාපන්දු සංගමය (FA) තමන් ගන්නා ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත්, බීබීසී ස්පෝර්ට් වෙත ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියා සිටියේ මානව හිමිකම් ගැටලුව දන්නා නමුත්, සෞදි අරාබියේ ලංසුවට සහය නොදක්වන්නේ නම්, එය කුහකකමක් ලෙස දැකිය හැකි බවත්, ඉන් පසුව එංගලන්තය තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය බව ය.

බොහෝ විවේචන පැමිණ ඇත්තේ, ක්‍රීඩාවට පිටතිනි. මාර්තු මාසයේදී 'ද ගාඩියන්' පුවත්පත වාර්තා කළේ, සෞදි අරාබියේ බොහෝ බංග්ලාදේශ සංක්‍රමණික කම්කරුවන් පැහැදිලි කළ නොහැකි තත්ත්වයන් යටතේ මිය ගිය බව ය. සෞදි අරාබිය එහි නීතිරීති සහ ප්‍රමිතීන් ආරක්ෂා කළ නමුත් ඔවුන්ට ලෝක කුසලානය පිරිනැමීමට පෙර කොන්දේසි වැඩිදියුණු කිරීම පිළිබඳව රටෙන් ස්ථිර පොරොන්දු ලබා ගැනීම සම්බන්ධයෙන් FIFA දැඩි පීඩනයකට මුහුණ දුන්නේ ය.

ඔක්තෝබර් මාසයේදී, සෞදි අරාබියේ ලෝක කුසලාන ලංසුවේ කොටසක් වූ සෞදි අරාබියේ ප්‍රධාන නීති ආයතනයක වාර්තාවක් මානව හිමිකම් කණ්ඩායම් විසින් විවේචනය කරන ලදී. සංක්‍රමණික සේවකයන් අපයෝජනය කිරීම එම වාර්තාව මගින් නොසලකා හැර ඇති බව ඔවුහු පැවසූහ. පසුගිය මාසයේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් ලංසු තැබීමේ ක්‍රියාවලිය නවත්වන ලෙස FIFA වෙතින් ඉල්ලා සිටිනු ලැබූ අතර සෞදි අරාබියේ ලෝක කුසලානය පැවැත්වීමෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරිය හැකි බවට අනතුරු ඇඟවීය. එය රසිකයින්ට වෙනස් කොට සැලකීම, පදිංචිකරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීම, සංක්‍රමණික සේවකයින් සූරාකෑම සහ තවත් මරණවලට තුඩු දිය හැකි බව ඔවුහු පැවසූහ.

සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩාවේ වැඩි වන බලපෑමට එරෙහිව යම් පසුබෑමක් ඇති වී තිබේ. නිදසුනක් වශයෙන්, ඔක්තෝබර් මාසයේදී, වෘත්තීය කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් FIFA වෙත විවෘත ලිපියක් යොමු කර ඇත, සෞදි ඉන්ධන සමාගම වන Aramco අනුග්‍රාහකයෙකු ලෙස ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඔවුන් එය හැඳින්වූයේ, "බඩේ පහරක්" ලෙස ය.

සෞදි ප්‍රෝ ලීගයේ විශාල කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ අවස්ථාවට හානියක් විය හැකි බැවින් බොහෝ ක්‍රීඩකයින් සෞදි අරාබියට එරෙහිව කතා කිරීමට බිය වන බවට ඇතැමුන් කනස්සල්ලට පත්ව සිටිති. සෞදි අරාබිය සමග ගනුදෙනු කිරීමට රජයයන් පවා කැමැත්තෙන් සිටින විට පාපන්දු ක්‍රීඩකයින්ට ස්ථාවරයකට එළැඹීම දුෂ්කර බව ඔවුන් පෙන්වා දෙයි. නිදසුනක් වශයෙන්, මෙම සතියේ බ්‍රිතාන්‍යයට අගමැති කෙයිර් ස්ටාමර් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සෞදි අරාබියට ගියේ ය.

සෞදි ලෝක කුසලාන තරගාවලිය කෙබඳු වේවි ද?

සෞදි පාපන්දු සම්මේලනය එය හැඳින්වූයේ, "අතිවිශේෂ" යනුවෙනි. ලෝක කුසලාන තරගාවලිය සඳහා සෞදි අරාබියේ ලංසුව සැලසුම් කර ඇත්තේ, ක්‍රීඩාංගණ 15ක්, (තවමත් ඉදිවෙමින් පවතින ක්‍රීඩාංගණ තුනක් සහ තවමත් ඉදිකිරීම් ආරම්භ කර නොමැති ක්‍රීඩාංගණ අටක් ඇතුළුව) Neom නමින් හඳුන්වන තවමත් සංවර්ධනය නොවූ සත්කාරක නගරවලින් එකක් ද ඇතුළුව නගර 05කි.

FIFAහි ඇගයීම් වාර්තාව "ආකර්ෂණීය ක්‍රීඩාංගණ" අගය කරන අතර, ඒවා සම්පූර්ණ කළ විට හෝ ප්‍රතිසංස්කරණය කළ විට, උසස් තත්ත්වයේ පහසුකම් සැපයිය හැකි බව සඳහන් කරයි.

එය ශීත ඍතුවේදී පැවැත්වීමට ද බොහෝ දුරට නිසැක ය. නමුත් 2022 නොවැම්බර්-දෙසැම්බර් මාසවල පැවති අසල්වැසි කටාර් තරගාවලිය සමග එක් ප්‍රධාන වෙනසක් තිබි ය හැකි ය.

ගිම්හානයේදී සෞදියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි බව FIFA පවසයි. එය 2034 ලෝක කුසලානය කාලසටහන්ගත කිරීම සඳහා අවදානමක් විය හැකි ය. කාලගුණය සහ ආගමික සිදුවීම් යන දෙක ම සලකා බැලීමේ අවශ්‍යතාව ද ඔවුන් සඳහන් කළ අතර, රාමසාන් සමග ඝට්ටනය වීම වළක්වා ගැනීම සඳහා තරගාවලිය ජනවාරි දක්වා ගෙන රැගෙන යා හැකි බවට අනුමාන කිරීමට එය හේතු විය.

PA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ප්‍රිමියර් ලීගය සහ අනෙකුත් ඉහළ ම යුරෝපීය ලීග ශීත ලෝක කුසලානයකට විරුද්ධව පවත්වනු ඇත.

ක්‍රීඩාවට සෞදියේ ඇති බලපෑම ගැන මින් පවසන්නේ කුමක් ද?

බොහෝ දෙනෙකුට, සෞදි ලෝක කුසලානයක් අනුමත කිරීමෙන් රටේ ක්‍රීඩාවේ වර්ධනය වන බලපෑම, ඒ සමග එන අවස්ථා, වෙනස්කම් සහ මතභේදයන් පෙන්නුම් කරයි.

2021 සිට සෞදි අරාබිය ආර්ථිකය නවීකරණය කිරීම සහ විවිධාංගීකරණය කිරීම සඳහා ඔටුන්න හිමි කුමරුගේ "2030 දැක්ම" යන සැලැස්මේ කොටසක් ලෙස ප්‍රධාන තරගාවලි පැවැත්වීම සඳහා බිලියන ගණනක් වියදම් කර ඇත. ෆෝමියුලා 1, පාපන්දු ස්පාඤ්ඤ සහ ඉතාලි කුසලාන අවසන් තරග, ක්ලබ් ලෝක කුසලානය, මෙන්ම බොක්සිං, ගොල්ෆ්, අශ්ව රේස් සහ ටෙනිස් හි ඉහළම ඉසව් සඳහා සෞදි අරාබිය සිය සත්කාරකත්වය ලබා දී ඇත.

සෞදි අරාබියේ පොදු ආයෝජන අරමුදල LIV ගොල්ෆ් තරගාවලිය ආරම්භ කර, සෞදි ප්‍රෝ ලීග් සමාජ හතරක හිමිකාරිත්වය පවරාගෙන, නිව්කාසල් යුනයිටඩ් ක්‍රීඩා සමාජය ද මිල දී ගෙන ඇත.

Play the Gameහි මෑත වාර්තාවකින් හෙළි වූයේ, සෞදි අරාබිය ක්‍රීඩාවේ සිය බලපෑම පුළුල් කරන බැවින් අනුග්‍රාහක ගිවිසුම් 900කට අධික සංඛ්‍යාවක් අත්සන් කර ඇති අතර පාපන්දු සම්මේලන සමග බොහෝ ගිවිසුම්වලට එළඹ ඇති බව ය.

ලෝක කුසලානයක් පැවැත්වීම සෞදි අරාබියේ ක්‍රීඩා විප්ලවය සම්පූර්ණයෙන් ම නව තලයකට ගෙන යනු ඇති අතර අනාගත ඔලිම්පික් ලංසුවක් සඳහා දොර විවර කළ හැකි ය.

ක්‍රීඩාවේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීමේ උත්සහයක් ද?

Many critics see this as the biggest act of sportswashing in Fifa's history with the World Cup being used to help improve the image of a country that has faced years of criticism over subjects such as:

බොහෝ විවේචකයෝ මෙය FIFA ඉතිහාසයේ ක්‍රීඩා ප්‍රතිරූපය ඉහළ දමා ගැනීමේ බරපතළ ම සිද්ධිය ලෙස සලකති. ක්‍රීඩාවේ ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම පාපන්දු ලෝක කුසලානය යොදා ගනු ඇත්තේ, වසර ගණනාවක් පුරා පහත කරුණු සම්බන්ධයෙන් විවේචනයට ලක්වූ රටක් වෙනුවෙනි:

  • මානව හිමිකම් උල්ලංඝණය කිරීම්
  • කාන්තා මර්දනය
  • සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීම
  • අදහස් ප්‍රකාශ කිරීම සීමා කිරීම
  • මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම
  • මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම
  • ඉන්ටර්නෙට් ක්‍රියාකාරීන් සිරගත කිරීම
  • යේමනයේ මාරාන්තික ගැටුමේදී සෞදි අරාබියේ භූමිකාව

කාන්තා අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම් වැනි සමහර ප්‍රතිසංස්කරණ පිළිගනු ලැබුව ද, විවේචකයින් තර්ක කරන්නේ මර්දනය තවමත් පවතින බව ය.

2023 දී, ලෝකයේ තුන් වන වැඩි ම සිරකරුවන් සංඛ්‍යාවක් මරා දැමූ රට බවට සෞදි අරාබිය පත්වූ අතර, එම වසරේදී පුද්ගලයන් 300 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී තිබේ. මීට අමතරව, විවාහ වීමට හෝ සංචාරය කිරීමට කාන්තාවන්ට පිරිමි ඥාතියෙකුගෙන් අවසර ලබා ගත යුතු බවට වන නීතිය අවසන් කරන ලෙස ඉල්ලා සිටීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් මානහෙල් අල්-ඔටායිබි වසර 11ක සිර දඬුවමකට යටත් කෙරිණි.

ප්‍රචාරක කණ්ඩායමක් වන Reprieve කියා සිටියේ සෞදි අරාබිය ලෝකයේ වඩාත් ම ම්ලේච්ඡ ඒකාධිපති පාලන තන්ත්‍රවලින් එකක් බවත්, ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට සහ වැඩිවන මර්දනය සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට විශාල මුදලක් වැය කරන බව ය.

මරණීය දණ්ඩනයට ලක්වූ හෝ මරණ දණ්ඩනයට මුහුණ දෙන ඇතැමුන් විරෝධතාකරුවන් හෝ කංසා කුඩා ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී පමණක් හසුවූ පුද්ගලයෝ වෙති.

"2034 දී සෞදි අරාබියට යාමට සැලසුම් කරන ක්‍රීඩාලෝලීන් දැනුවත් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් ලබා දෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මරණයට පවා ලක්විය හැකි බවයි."

සෞදි බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ලංසුව ආර්ථිකය විවිධාංගීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම, නවීකරණය සහ ප්‍රතිසංස්කරණය කිරීම සහ තරුණ ජනගහනය අතර වඩාත් ක්‍රියාශීලී ජීවන රටාවක් දිරිමත් කිරීම අරමුණු කර ගත් බව ය.

පසුගිය වසරේ සෞදි අරාබියේ ක්‍රීඩා ඇමති අබ්දුල්අසීස් බින් තුර්කි අල් ෆයිසාල් කුමරු, තරගාවලියේ සත්කාරකත්වය දැරීමට රටේ අයිතිය ආරක්ෂා කළ අතර ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා ක්‍රීඩාව යොදා ගැනීම වැනි ප්‍රකාශයන් "නොගැඹුරු" ඒවා ලෙස හැඳින්වී ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "අපි ගෝලීය ඉසව් 85කට වඩා සත්කාරකත්වය ලබා දී ඇති අතර එය ඉහළ ම මට්ටමින් ලබා දී තිබෙනවා. අපට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩාව තුළින් ලෝකය ආකර්ෂණය කර ගැනීමට යි. සෑම රටකට ම දියුණු වීමට ඉඩක් තියෙනවා, කිසිවෙකු සර්ව සම්පූර්ණ නැහැ. මෙම සිදුවීම් අපට වඩා හොඳ අනාගතයක් සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට උපකාරී වනවා," යනුවෙනි.

සෞදි අරාබියේ කාන්තාවන්ට ක්‍රීඩාංගණවලට ඇතුළු වීමට අවසර ලැබුණේ 2018 වසරේ පමණි, නමුත් එතැන් සිට වෘත්තීය කාන්තා පාපන්දු ලීගයක් සහ ජාතික කණ්ඩායමක් ස්ථාපිත කර ඇති අතර දැන් ගැහැණු ළමයින් 70,000 කට අධික සංඛ්‍යාවක් නිතිපතා ක්‍රීඩාවේ යෙදෙති.

කෙසේ වෙතත්, පසුගිය වසරේ, බ්‍රිතාන්‍යයේ සිටින එක ම විවෘත සමලිංගික ක්‍රියාකාරී පිරිමි පාපන්දු ක්‍රීඩකයා වන ජේක් ඩැනියෙල්ස් බීබීසීයට පැවසුවේ, සෞදි ලෝක කුසලානයේදී තමාට "ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ," යනුවෙනි.

සහභාගී වන කාන්තා සහ සමලිංගිකත්වය අනුමත කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසූ විට අබ්දුල්අසීස් කුමරු පැවසුවේ, "සියල්ලන් සාදරයෙන් පිළිගනිමු" යනුවෙනි.

සෞදි 2034 වෙනසක් සිදු කරයි ද?

බොහෝ දෙනා විශ්වාස කරන්නේ කටාර් රාජ්‍යය ආරක්ෂිත සහ අමතක නොවන ලෝක කුසලානයක් පැවැත්වූ අතර, මානව හිමිකම්, වෙනස් කොට සැලකීමේ නීති සහ ශීත ඍතුවේ දී තරඟාවලිය පැවැත්වීම හේතුවෙන් ඇති වූ බාධා කිරීම් සෞදි අරාබියේ නැවත නැවතත් සිදු විය හැකි බව ය.

2010 දී, 2022 ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා කටාර්හි අනපේක්ෂිත ජයග්‍රහණය FIFA නායකත්වය පවා පුදුමයට පත් කළේ ය. ඊට වෙනස්ව, Infantino සෞදි ලෝක කුසලානය පිළිබඳ අදහසට සහය දක්වන බව පෙනේ. 2017 දී FIFA මානව හිමිකම් ප්‍රතිපත්තියක් ගෙන ඒමත් සමග, එහි තීරණය සම්බන්ධයෙන් ඊටත් වඩා විමර්ශනයක් තිබි ය හැකි ය.

කටාර් මෙන් ම, සෞදි අරාබියේ ලෝක කුසලාන තරග සඳහා වන යටිතල පහසුකම් බොහෝ දුරට දකුණු ආසියාවෙන් සංක්‍රමණය වූ කම්කරුවන් විසින් ගොඩනගනු ඇත. මිලියන 13කට අධික විදේශිකයන් රට තුළ වාසය කරන අතර, ඉදිකිරීම් ප්‍රමාණය කනස්සල්ලට හේතු වී තිබේ.

FIFA හි වාර්තාව නිගමනය කළේ 2010 සහ 2022 අතර, කටාර් ලෝක කුසලානයට සම්බන්ධ බොහෝ කම්කරුවන් මරණ, තුවාල, වැටුප් නොගෙවීම සහ සැලකිය යුතු ණය ඇතුළු දරුණු මානව හිමිකම් ගැටලුවලට මුහුණ දුන් බවයි. මෙම ඇතැම් ගැටලු සඳහා FIFA දායක වන්නට ඇතැයි ද එහි සඳහන් විය.

කටාර් ලෝක කුසලානයට පෙර මාධ්‍ය පරීක්ෂාවන් ඇතැම් කම්කරු ප්‍රතිසංස්කරණවලට හේතු වන්නට ඇත, නමුත් ඒවා කෙතරම් හොඳින් ක්‍රියාවට නංවා තිබේ ද යන්න පිළිබඳව ප්‍රචාරකයින් කනස්සල්ලට පත්ව සිටිති. හානි සිදුවූ කම්කරුවන්ට වන්දි ගෙවීම සඳහා FIFA විසින් තමන්ගේම වාර්තාවේ ප්‍රධාන නිර්දේශය අනුගමනය නොකිරීම ගැන ඔවුහු කෝපයට පත්ව සිටිති.

කටාර්හි කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු නැවත ඇති නොවන බවට පසුගිය වසරේ අබ්දුල්අසීස් කුමරු සහතික වූ අතර, "අපට මේ සඳහා වසර 10 ක් වැඩ කිරීමට තිබේ, අපි දැනටමත් බොහෝ ස්ථානවල වැඩ ආරම්භ කර ඇත, එබැවින් අපට එය නිවැරදිව කිරීමට ඕනෑ තරම් කාලය තිබෙනවා." ඔහු පැවසීය.

එහි සෞදි ඇගයීම් වාර්තාවේ, FIFA "තවදුරටත් නීතිමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන කොටස්" සඳහන් කර ඇති අතර, නිසි ලෙස බලාත්මක කිරීමකින් තොරව, දුර්වල සේවා තත්ත්වයන් පිළිබඳ වැඩි අවදානමක් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීය.

තරගයට අදාළව ආරක්ෂාව, කම්කරු අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ මාධ්‍ය නිදහස ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි ක්ෂේත්‍රවල "ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම්වලට ගරු කිරීමේ සෞදි රජයේ කැපවීම" FIFA විසින් පැසසුමට ලක් කරන ලදී.

FIFA වාර්තාවේ සෞදි අරාබියේ විවිධත්වය සහ වෙනස් කොට සැලකීමට එරෙහි ජාත්‍යන්තර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේ හිඩැස් ඇති බවට පිළිගෙන ඇත. කෙසේ වෙතත්, FIFA කියා සිටියේ මෙම තරගාවලිය අඛණ්ඩ ප්‍රතිසංස්කරණ මෙහෙයවීමට සහ ධනාත්මක මානව හිමිකම් ප්‍රතිඵල සඳහා දායක වීමට හැකියාව ඇති බව ය.

2034 ලෝක කුසලානය සූරාකෑමෙන් හා මර්දනයෙන් විනාශ වීම වැළැක්වීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය FIFA තක්සේරුව සෞදි අරාබියේ දුර්වල මානව හිමිකම් වාර්තාවේ "විස්මිත සුදු හුනු ගෑමක්" ලෙස හැඳින්වීය. Fair Square ප්‍රචාරක කණ්ඩායම FIFA විවේචනය කළේ "පහත් තත්ත්වයකට පත්ව" පැමිණ ඇති බව සඳහන් කරමින්ය.

පරිසරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය

ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, එහි ෆොසිල ඉන්ධන කර්මාන්තය හරහා දේශගුණික විපර්යාසවලට දායක වීම සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයන්ට බාධා කිරීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව සිටියි.

සිසිලන පද්ධති, ජල ලවණ ඉවත් කිරීම සහ කාබන් අධික යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශක්තිය උපුටා දක්වමින් කණ්ඩායම් 48කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමේ පාරිසරික බලපෑම පිළිබඳව ද ඔවුහු දැන් කනස්සල්ලට පත්ව සිටිති.

සෞදි රජය පවසන්නේ, තමන් පොසිල ඉන්ධනවලින් ඉවත් වී විමෝචනය අවම කිරීමට කටයුතු කරන බව සහ එහි තිරසර වාර්තාවෙන් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ක්‍රීඩාව භාවිත කිරීම ප්‍රතික්ෂේප කරන බව ය.

FIFAහි ලෝක කුසලාන අගැයීම් වාර්තාව ඉදිකිරීම් සැලකිය යුතු පාරිසරික බලපෑමක් ඇති කරන බව පිළිගත් නමුත් මෙම ලංසුව මෙම පාරිසරික අභියෝග සමහරක් විසඳීමට පියවර ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ පදනමක් සකසන බව පැවසීය.

පසුගිය වසරේ ස්විට්සර්ලන්ත නියාමකයෙකු විසින් කටාර් 2022 හි අඩු කරන ලද පාරිසරික බලපෑම පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කරනු ලැබ ඇති බවට අනාවරණ කිරීමත් සමඟ මෙම ප්‍රදේශය පිළිබඳ FIFAහි විශ්වසනීයත්වය බෙහෙවින් පළුදු විය. එය ප්‍රකාශ වී ඇත්තේ, ප්‍රථම "සම්පූර්ණ කාබන් තොර ලෝක කුසලානයත්" ලෙස ය.

මීට අමතරව, කටාර් රාජ්‍යය නව ක්‍රීඩාංගණ 7ක් ඉදිකරද්දී සෞදි අරාබිය ක්‍රීඩාංගණ 11ක් ඉදිකරමින් ක්‍රීඩාංගණ හතරක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියි. කටාර් රාජ්‍යය තරග 64කට සත්කාරකත්වය සැපයූ නමුත් සෞදි අරාබියේ 2034 වසරේ තරග 104ක් පවත්වනු ඇත, එනම් පාරිසරික බලපෑම ඊටත් වඩා විශාල විය හැකි බව පෙනෙන්නට තිබේ.

මෙම සිද්ධිය හරහා ක්‍රීඩාව ගැන පැවසෙන්නේ කුමක් ද?

සෞදි ලෝක කුසලානය මැද පෙරදිග දෙසට ක්‍රීඩා බලය වර්ධනය වෙමින් පවතින බව ඉස්මතු කරයි.

කටාර් සහ සෞදි අරාබිය වැනි කුඩා රටවලට වසර 12ක් ඇතුළත ලෝක කුසලාන තරගාවලි පැවැත්වීම මෑතක් වන තුරු ම සිතාගත නොහැකි දෙයක් විය. නමුත් ඔවුන්ගේ ධනය සහ ක්‍රීඩා සංගම්වල මූල්‍ය වර්ධනය සහ නව වෙළෙඳපළ සඳහා ඇති හැකියාව නිසා එය දැන් සිදුවෙමින් පවතී.

මෑත වසරවල ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක එක ම මතභේදාත්මක සත්කාරකත්ව රට තමන් නොවන බවට සෞදි අරාබියට තර්ක කළ හැකි ය. පසුගිය වසර 20 තුළ රුසියාව ලෝක කුසලාන සහ ඔලිම්පික් තරග දෙකට ම සත්කාරකත්වය ලබා දුන් අතර චීනය ගිම්හාන සහ ශීත ඍතු ඔලිම්පික් තරග දෙකට ම සත්කාරකත්වය ලබා දී ඇත.

කටාර්හි මෙන් 2030 ලෝක කුසලාන සම සත්කාරක රටවලින් එකක් වන මොරොක්කෝවේ සමලිංගික සබඳතා නීති විරෝධී ය. මහාද්වීප තුනක් හරහා 2030 ලෝක කුසලානය පැවැත්වීමේ තීරණය පරිසරවේදීන් ද විවේචනය කර ඇත.

කෙසේ වෙතත්, බදාදා සෞදියේ ලංසුව ලබන අත්පොළසන් දීම මානව හිමිකම් සහ තිරසරභාවය සඳහා ක්‍රීඩාවේ කැපවීම සඳහා වන විනාශකාරී පරාජයක් සහ ලෝක පාපන්දු භාරව සිටින අයට පහත් මට්ටමක් නියෝජනය කරනු ඇතැයි තවත් අය බිය වෙති.

සෞදි බලධාරීන්ට සහ FIFA හට දැන් ඉදිරි දශකය පවතින්නේ රට සුදුසු සත්කාරක රටක් විය හැකි බවත් ලෝක කුසලානය අපිරිසිදු නොවන බවත් විචාරකයන්ට ඒත්තු ගැන්වීම සඳහා ය.