ආපදා වාර්තාකරණයේ නියැළෙන මාධ්‍යවේදීන්ගේ අත්දැකීම්: OIC, 'ප්‍රා. ලේ. ඇතුළු 30ක් විතර කොටු වෙලා ඉන්නේ'

නාය ගිය ස්ථානයක සිටින සහන කණ්ඩායම්
    • Author, බීබීසී සිංහල

මේ වන විට දිවයිනට ම බලපා ඇති දැඩි වර්ෂාපතනයත් සමග විවිධ ප්‍රදේශවලින් නාය යාම් සහ ගංවතුර තත්ත්වයන් වාර්තා වෙමින් පවතියි.

මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බොහෝ පිරිසක් අවතැන් වී තිබේ.

ආසන්න දින කිහිපය පුරාවට ම වාර්තාකරණයේ නියැළුණු මාධ්‍යවේදීහු දැඩි අවදානමක් මධ්‍යයේ වාර්තාකරණයේ නියැළෙමින් සිටිති.

ඒ අතරතුර බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන එල්. රත්නායක පැවසුවේ, වැලිමඩ ප්‍රදේශයේ නාය ගිය ස්ථානයක මුදා ගැනීමේ මෙහෙයුම් පවා සිදු කිරීමට අපහසු තත්ත්වයක පවතින බවත්, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, විදුලි බල මණ්ඩලයේ සේවකයන් ඇතුළු මුදා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකයන් 30ක් පමණ මේ වන විට සිරවී සිටින බවත් ය.

'30ක් විතර එක තැනකට කොටු වෙලා ඉන්නවා, කොහේටවත් යන්න බෑ'

මේ වන විට වැලිමඩ නගරය ජලයෙන් යටවී තිබෙන අතර, එම ප්‍රදේශය සහ ඌව පරණගම යන ප්‍රදේශවල ජන ජීවිතයට මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් සිදුව ඇති බව රත්නායක පැවසුවේ ය.

"මේ පැත්තේ නාය ගිය ස්ථානයකින් දැනට එක මෘත ශරීරයක් සොයාගෙන තියෙනවා. තව දෙන්නෙක් පස් කඳුවලට යට වෙලා ඉන්නවා," ඔහු පැවසුවේ ය.

පස් කඳු කඩාවැටීමෙන් එම ප්‍රදේශවලට ප්‍රවේශ විය හැකි මාර්ග සියල්ල අවහිර වී ඇති බව රත්නායක පවසයි.

"බේරගන්න යන්න ඕනේ තැනට යන්න බෑ. අපි ඔක්කොම කොටු වෙලා ඉන්නේ. මෙතන කොටුවෙලා ඉන්නවා ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපතිතුමා, ආපදා නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් 30ක් විතර අපි මෙතන හිර වෙලා ඉන්නවා," බීබීසී සිංහල වෙත එම ප්‍රදේශයේ තත්ත්වය විස්තර කරමින් රත්නායක පැවසුවේ ය.

"සහන කණ්ඩායම්වලට අදාළ ස්ථානයට ළඟා වෙන්න බැරිව ඉන්නේ. ජේසීබීවලින් පස් අයින් කළත් ආපහු නාය යනවා. පාරේ තියෙන ගල් එහෙම අයින් කරන්න බෑ,"

සහන කණ්ඩායම් ළඟා වීමට උත්සහ කරමින් සිටින නාය ගිය ප්‍රදේශය තවමත් නාය යමින් පවතින බව රත්නායක පැවසුවේ ය.

'වීඩියෝ කර කර ඉන්නකොට එක පාර ම එතන උඩ තිබුණු ගෙදරත් කඩාගෙන නාය ගියා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශ ආශ්‍රිතව ද අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල බලපෑමක් සිදුව ඇති අතර, බොහෝ ප්‍රදේශ නාය ගොස් තිබේ.

මෙම ප්‍රදේශවල සිදුවූ නාය යාම් හේතුවෙන් පුද්ගල මරණ ද වාර්තා වී තිබේ.

එම සිදුවීම් වාර්තාකරණයේ නිරත වූ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන විරාජ් ප්‍රනාන්දු ද බීබීසී සිංහල වෙත ඔහු ලැබූ අත්දැකීම් පිළිබඳව විස්තර කළේ ය.

"අද පාන්දර ම මට දැනගන්න ලැබුණා බදුල්ලේ ගොඩක් මරණ සිදු වෙලා තියෙනවා කියලා. බූට් දාගෙන, රේන්කොට් දාගෙන, කැමරාවත් කොහොම හරි තෙමෙන්නේ නැතිව වහගෙන බයිසිකලෙන් ම එතෙන්ට ගියේ," ඔහු පැවසුවේ ය.

"බණ්ඩාරවෙල ප්‍රදේශයේ, මාතැටිල්ල ප්‍රදේශයේ නිවාස ගණනාවක් නාය ගිහින් තිබුණා. එතනට යනවිටත් හැමෝම අවදානම නිසා එතනින් ඉවත් වෙනවා. නමුත් මට සිද්ධ වුණේ අවදානම තියෙද්දී වුණත් වාර්තාකරණයේ යෙදෙන්න," එම ස්ථානය වීඩියෝගත කරමින් සිටින අතරතුර ද නාය යාමක් සිදුවූ බව විරාජ් පැවසුවේ ය.

"හමුදාවේ අයත් එක්ක එතනට යනකොට සද්දේ විතරයි ඇහෙන්නේ. අඩි 50ක විතර ප්‍රපාතයක්. තිබුණ ගෙවල් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. එතන වීඩියෝ කර කර ඉන්නකොට එක පාර ම එතන උඩ තිබුණු ගෙදරත් කඩාගෙන නාය ගියා. ඒ සද්දෙත් එක්ක නම් සෑහෙන්න බයක් දැනුණා. එහෙම්ම ම එතනින් එහාට දුවගෙන ගියා."

'එක්කෙනෙක් මට කිව්වා එයාගේ බිරිඳ බත් උයන ගමන් හිටියේ කියලා'

එම නිවාස නාය ගිය ස්ථානයේ බොහෝ දෙනෙකු ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ නිසා එම ස්ථානයේ දේපළ හානි පමණක් සිදුව තිබූ බව විරාජ් පැවසුවේ ය.

"සමහර මිනිස්සු අතේ තියෙන්නේ ෆෝන් එක විතරයි. කිසිම දෙයක් අතට ගන්නෙවත් නැතිව මිනිස්සු එළියට බැහැලා තිබුණා. එක්කෙනෙක් මට කිව්වා එයාගේ බිරිඳ බත් උයන ගමන් හිටියේ කියලා," ඔහු විස්තර කළේ ය.

මීට දින කිහිපයකට පෙර ඉදල්ගස්හින්න ප්‍රදේශයේ නාය ගිය ස්ථානයට යාමට තිබූ ප්‍රවේශ මාර්ග ද අවහිරව තිබූ බව ඔහු පැවසුවේ ය.

"වැස්සත් එක්ක අපට තිබුණ ලොකු ම ප්‍රශ්නය තමයි නාය ගිය ස්ථානයට යන්න හැතැම්ම 5ක් පයින් යන්න ඕනේ. ඒ වගේ දෙපාරක් විතර යන්න සිද්ධවුණා. එතනට යන කෙටි පාරකින් යන්න ගිහින් බයික් එක ලෙස්සලා වැටුණා. උදව්වක් ඉල්ලන්නවත් කෙනෙක් හිටියේ නෑ. විනාඩි 10ක් විතර අමාරුවෙන් උත්සහ කරලා තමයි බයික් එකත් කෙලින් කරගෙන නැගිටලා ආපහු එන්න පුළුවන් වුණේ."

අසූව දශකයේදී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පසුව මෙතරම් බලපෑමක් ඇතිවූයේ මෙම අවස්ථාවේදී බවට ප්‍රදේශයේ ජනතාවගේ අදහස බව රත්නායක පැවසුවේ ය.

විරාජ් පැවසුවේ කෙතරම් බාධා මධ්‍යයේ වුව ද මාධ්‍යවේදීන් ලෙස ඔවුන් තවදුරටත් ජනතාවට තොරතුරු ලබා දීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ය.

"මිනිස්සු ආපදාවක් වෙද්දී ලෑස්ති වෙන්නේ ආරක්‍ෂිත ස්ථානයකට යන්න. නමුත් ආපදා සහන කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් යන්න සූදානම් වෙන්නේ ආපදාව සිදු වූ ස්ථානයට. අපිට ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් අපි ඒක කරන්නත්, ඒ තත්ත්වය වාර්තා කරන්නත් කියන දෙක ම කරන්න බලාපොරොත්තුවෙන් එතනට යන්නේ."